July 23, 2026

නකල්ස් ජෝඩු ඇල්ලේ දිය නෑමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 14 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක් දිය ඇල්ලෙන් පහළට වැටී බරපතළ තුවාල ලබා මියගොස් ඇත.

නකල්ස් දෙමළ මහා විදුහලේ 09 වැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පස් දෙනෙකු පෙරේදා (22) පස්වරු 4.30 ට පමණ දිය නෑමට ගොස් තිබෙන බවත් ඡායාරූප ගැනීමට යාමේදී සිසුන් දෙදෙනෙකු දිය ඇල්ලෙන් පහළට ඇද වැටී තිබෙන බවත් පන්විල පොලිසිය පවසයි.

එක් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් තිබෙන අතර අනෙක් සිසුවා මඩොල් කැලේ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තවලන්තැන්න නකල්ස්වත්තේ පදිංචි බී.සල්ජිත් හා කේ. ඩිලෝන් නැමැති සිසුන් දෙදෙනා බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මහනුවර ජතික රෝහලට රැගෙන එමින් සිටින අතරතුර මියගිය සිසුවාගේ මෘතදේහය කටුගස්තොට රෝහලේ තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු මළසිරුරු ඥාතීන්ට බාරදෙන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලිසිය පරීක්ෂණ පවත්වයි.