July 23, 2026

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

අදාළ පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබීය.

විවෘත අධිකරණයේදී සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා කියාසිටියේ, පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සංකීර්ණ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම දුෂ්කර නියෝගය ප්‍රකාශයට පත්කළ බවයි.

මෙවර අපොස උසස් පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන් ලක්ෂ හැත්තෑ අට දහසකට ආසන්න පිරිසක් සහභාගි වන බව පෙත්සම සලකා බැලීමේදී අනාවරණය විය.

මූලික කරුණු සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම විභාග පැවැත්වීමේ ක්‍රියාදාමයට මැදිහත් වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ බැවින් මෙම නඩුකරයට මැදිහත්වීමට අධිකරණය අදහස් නොකරන බවත්, ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා කියාසිටියේ මෙවර අපොස උසස් පෙළ විභාගයේ අධ්‍යයන වර්ෂය අවසන් වන දිනය සහ විභාගය පැවැත්වෙන දිනය අතර දින තුනක කාලයක් පමණක් පවතින බව පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී කරුණු අනාවරණය වූ බවයි.

ඉන් සිසුන්ට කිසියම් අපහසුතාවයක් සිදුවන්නේ නම් ඊට සුදුසු සහනයක් සලසා දීමට ඇති හැකියාව සොයාබලන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දැනුම්දෙන ලෙසත්, මෙහිදී විනිසුරු මඩුල්ල විසින් අධිකරණය හමුවේ පෙනීසිටි රජයේ නීතිඥවරියට දැනුම්දුන්නේය.

කෙසේවෙතත් විභාග ක්‍රියාදාමය යථාතත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් අධිකරණය සතුටට පත්වන බව කියා සිටි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා, තමන් පෙනී සිටින අපොස සාපෙළ විභාගය හෝ උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය නිශ්චිතව දැනගැනීමට ශිෂ්‍යයින්ට හැකියාව තිබිය යුතු බවත් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

මෙම වසරේ අපොස උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවැනි වරට පෙනීසිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.