July 23, 2026

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බව කියන පිස්තෝලයේ අවසන් ඇඟිලි සලකුණු කිසිවක් සොයාගැනීම දුෂ්කර වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (22දා) පැවසීය.

ගිනි අවියක් පත්තු වීමෙන් පසු එය බොහෝ රත්වන ස්වභාවය හේතුවෙන් ඒවායේ බොහෝ විට ඇඟිලි සලකුණු මැකී යා හැකි බැවින් එම පිස්තෝලයේ ද එලෙස ඇඟිලි සලකුණු මැකීයෑමක් වී ඇති බවට අනුමාන කරන බව ඔහු කීය.

එසේ වුවද යම් අපරාධයකට යොදාගත් ගිනි අවිය හා ඊට යෙදූ උණ්ඩ ගැලපීම සහ කාලය පිළිබඳව කරුණු සොයාගත හැකි නමුත්, ඒ අනුව ඉහත අපරාධයේ සුලමුල හෙළිකර ගැනීමේ එක් සාධකයකට අපේක්ෂාව බොඳවන තත්ත්වයක් ඇතිවී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

එසේ වුවත් ඝාතනය සිදුවූ මොහොතේ නිවස තුළට හෝ පිටතින් නිවසට කිසිවකු පැමිණි බවට මේ වන තෙක් සාක්ෂි තහවුරු වී නැත.

මේ අතර එය අත්වැරැද්දකින් වෙඩිතබා ගැනීමක් හෝ සියදිවි නසාගැනීමක් විය හැකි බවට දැනට අනුමාන කර තිබේ.

නිවසේ හා ඒ අවට එම ඝාතනය සිදුවීමට පෙර සී.ටී.වී. දර්ශන ද පොලිස් විමර්ශනවලට හසුවී නැත.

(දිවයින)