July 23, 2026

ලේ පරීක්ෂාවක් සඳහා රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා මුදල් අයකළ යාපනය Venus Speciality Hospital ආයතනයට රුපියල් ලක්ෂ 30ක (මිලියන 03ක) දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති නීතිමය රෙගුලාසිවලට අනුව පෞද්ගලික අංශයේ රසායනාගාර හෝ රෝහල් මඟින් FBC පරීක්ෂාවක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400/- කි.

කෙසේවෙතත්, යාපනය, පලාලි පාරේ, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි Venus Speciality Hospital (Pvt) Ltd රෝහල මඟින් FBC පරීක්ෂාවක් සඳහා රුපියල් 550/- බැගින් පාරිභෝගිකයන්ගෙන් අයකර ඇති බව අනාවරණය වී ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 ජූලි 13 වන දින සිදුකරන ලද විශේෂ වැටළීමකදී මෙම නීතිවිරෝධී වැඩිපුර මුදල් අයකිරීම අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලද අතර, 2026 ජූලි 21 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහල් කළමනාකාරීත්වය අදාළ වරද පිළිගෙන ඇත.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ පෞද්ගලික රෝහලට රුපියල් ලක්ෂ 30 ක දඩයක් නියම කළ අතර, සිදුකරන ලද වරද පිළිබඳව විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල ප්‍රසිද්ධ කරමින් නිවේදනයක් පළ කරන ලෙසට ද නියෝග කර තිබේ.