July 22, 2026

සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සිය අප්‍රසාදය පළකර තිබේ.

කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (ජූලි 22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදුකර ඇත.

සිද්ධිය වූ ස්ථානයෙන් සොයාගත් හඳුනානොගත් ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ජංගම දුරකථන පරීක්ෂණයේ ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රශ්න කළ අවස්ථාවේදී පොලිසිය සඳහන් කළේ, අදාළ විද්‍යාත්මක පරීක්ෂණ පහසු කිරීම සඳහා එම උපාංගය විදේශීය ආයතන වෙත යොමුකර ඇති බවයි.

කපිල චන්ද්‍රසේන මහතාගේ iPhone 16 Pro Max වර්ගයේ ජංගම දුරකථනය ඇපල් සමාගමේ ‘Face ID’ ආරක්ෂිත පද්ධතියෙන් ආවරණය වී ඇති බැවින් එය අගුලු හැරීමට නොහැකි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) පසුගිය මැයි මාසයේදී අධිකරණයට දැනුම් දී තිබිණි.

මියගිය තැනැත්තාගේ මුහුණ භාවිත කරමින් දුරකථනය අගුලු හැරීමට දරන ලද උත්සාහයන් ව්‍යර්ථ වූ බවත්, ඒ අනුව පරීක්ෂණවල කොටසක් ලෙස දුරකථනයට ප්‍රවේශ වීම සඳහා ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) හරහා ඇපල් සමාගමේ සහාය ලබාගැනීමට බලධාරීන් පියවර ගත් බවත් විමර්ශකයෝ පැවසූහ.

අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වාදුන්නේ, මීට සති දෙකකට පෙර ද පොලිසිය ලබාදුන්නේ මෙවැනිම පැහැදිලි කිරීමක් බවත්, පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව තමන් සෑහීමකට පත්නොවන බවත්ය.

“සති දෙකකට කලිනුත් ඔබ අධිකරණයට කිව්වේ ඔය ටිකමයි. මේ විමර්ශනයේ ප්‍රගතිය ගැන මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. විමර්ශන කඩිනම් කරන්න” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා විමර්ශකයන්ට විවෘත අධිකරණයේදී නියෝග කළේය.

රසපරීක්ෂක වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලබා දෙන ලෙස නැවත මතක් කිරීම් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනයේ ප්‍රගතිය ලබන අගෝස්තු 19 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස ද පොලිසියට නියෝග කළේය.