July 22, 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ මහ ලේකම්වරයා ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂා කරන බව වාර්තා වේ.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමේදී 56 හැවිරිදි ඉන්ෆැන්ටිනෝ, ජනාධිපති ට්‍රම්ප් සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගෙන ඇත.

ස්විට්සර්ලන්ත ජාතිකයෙකු වන ඔහු ඉකුත් දෙසැම්බර් මාසයේදී ෆීෆා සංවිධානය මඟින් පිරිනමන ලද සමාරම්භක සාම ත්‍යාගය පවා ට්‍රම්ප් වෙත පිරිනමමින් ඔහුව ඇගයීමට ලක් කිරීමට කටයුතු කළේය.

“ඉන්ෆැන්ටිනෝ යනු ලොව පුරා සැමගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක්. මිනිසුන් එකමුතු කිරීමේ විශේෂ හැකියාවක් ඔහු සතුව පවතින බව ට්‍රම්ප් විශ්වාස කරනවා,” යනුවෙන් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහ ලේකම් පෘතුගාලයේ ඇන්ටෝනියෝ ගුටරෙස් ලබන දෙසැම්බර් අගදී ධුරයෙන් සමුගැනීමට නියමිත අතර, නව මහ ලේකම්වරයා තේරී පත්කර ගැනීම මෙම වසරේදී සිදු වීමට නියමිතය.

මෙම ධුරය හිමිකර ගැනීම සඳහා ඉන්ෆැන්ටිනෝ හට නිෂේධ බලය හිමි ස්ථිර සාමාජිකයින් පස්දෙනාගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතු අතර, අනතුරුව මහා මණ්ඩලයේ ද තහවුරු කිරීම ලබාගත යුතුව ඇත.

කෙසේවෙතත්, ඉන්ෆැන්ටිනෝ මෙම ධුරය භාරගැනීමට කැමැත්තෙන් පසුවන්නේද යන්න හෝ ට්‍රම්ප් මේ පිළිබඳව ඔහු සමඟ කෙතරම් දුරට සාකච්ඡා කර ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

නමුත් අභ්‍යන්තර ආරංචි මාර්ගයකට අනුව දැනට ඉදිරිපත්ව සිටින “දුර්වල” අපේක්ෂකයින් හත්දෙනා අතුරින් ඉන්ෆැන්ටිනෝට පැහැදිලි අවස්ථාවක් ඇති බව ට්‍රම්ප් විශ්වාස කරයි.