July 22, 2026

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) අවසර ලබාදුන්නේය.

සිද්ධියට අදාළව විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පවරා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පෙනීසිටි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ, 2007 අංක 7 දරන පනත අනුව සැකකරු පැය 24ක කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව සිද්ධියට අදාළ නඩුව හෙට (23) පස්වරු 2.30ට නැවත කැඳවීමට නියමිතය.