July 22, 2026

නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් සහ සුඛෝපභෝගී ජීවන රටාවන් ගත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය ජූලි 09 වැනිදා නිකුත් කරන ලද නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය නිල නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

නිසි මාර්ගෝපදේශවලින් තොරව නිකුත් කර ඇති මෙම ප්‍රකාශය හේතුවෙන් සාමාන්‍ය ග්‍රාමීය ජනතාව දැඩි ලෙස බියගැන්වීමට සහ හිරිහැරයට ලක්වීමේ පූර්ණ අවදානමක් පවතින බව එම පක්ෂය පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ ස්වාධීන පරීක්ෂණ වාර්තාවේ එන ‘පොදු අරමුණු පිළිබඳ ප්‍රකාශය’ උපුටා දක්වන එක්සත් ජාතික පක්ෂය, පොලිසියේ මූලික වගකීම විය යුත්තේ නීතිය හා සාමය සුරැකීම සහ වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම මිස මහජනතාව අනවශ්‍ය පරිදි අපහසුතාවයට පත්කිරීම නොවන බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ වත්කම් බද්දක් ක්‍රියාත්මක නොවන පසුබිමක, විදේශ රැකියා වැනි නීත්‍යානුකූල මාර්ගවලින් මුදල් උපයන බොහෝ ග්‍රාමීය වැසියන් බදු ක්‍රමය පිළිබඳ පවතින දැනුවත්භාවයේ අඩුකම නිසා තම වත්කම් ප්‍රකාශ කර නොතිබීමට ඉඩ ඇති බවද එම පක්ෂය සඳහන් කරයි.

පැහැදිලි නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව උපයාගත් වත්කම් මොනවාදැයි නිශ්චය කිරීමට පූර්ව ක්‍රමවේදයක් නොමැති හෙයින්, මෙම පියවර මහජනයා පළිගැනීම් සහ හිරිහැරවලට ලක්කිරීමේ මෙවලමක් බවට පත්වීමේ අවදානමක් පවතී.

එමනිසා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර විධිමත් මාර්ගෝපදේශ මාලාවක් සකස්කරන තෙක් පවතින නිවේදනය වහා ඉල්ලා අස්කරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය පොලීසියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.