July 21, 2026

2026 වර්ෂයේදී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) වෙත මිලදී ගැනීමට නියමිතව තිබූ Standard මාදිලියේ නව බස් රථ 600 වෙනුවට, වඩාත් සුවපහසු වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ආසන 49-54කින් සමන්විත Standard මාදිලියේ බස් රථ මිල දී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මීට පෙර රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන්කර තිබිණි.

කෙසේවෙතත්, එම ප්‍රතිපාදන වෙන්කිරීමෙන් අනතුරුව හඳුන්වාදෙන ලද ‘මාර්ග ආරක්ෂණ සැලැස්ම – 2025/2026’ යටතේ මගී ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන බස් රථ ආරක්ෂිත වාහන ලෙස හඳුනාගෙන ඇති අතර, නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස් රථ වර්ග සහ ඒවායේ අවම පිරිවිතරයන්ද පිළියෙල කර ඇත.

එම නව පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) බස් රථ සේවයේ යෙදවිය යුතු බැවින්, මගීන්ට වඩාත් සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණින් දැනටමත් වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ Deluxe මාදිලියේ බස් රථ මිලදී ගැනීමට ඉදිරි පියවර ගැනීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.