July 21, 2026

අධික ලෙස ඉහළ ගොස් ඇති රඳවාගැනීමේ ගාස්තු ගෙවා නිදහස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන 1,000කට ආසන්න සංඛ්‍යාවක් හම්බන්තොට වරාය පරිශ්‍රයේ අතහැර දමා ඇති බව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් උපුටා දක්වමින් Daily mirror පුවත්පත වාර්තා කරයි.

වාර්තා වන පරිදි දැනට වාහන 40,000කට ආසන්න සංඛ්‍යාවක් හම්බන්තොට වරායේ නවතා තබා ඇති අතර, නැවත ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලියට එල්ල වූ බාධා සහ ඩුබායි වැනි ගමනාන්ත වෙත නාවික ගමනාගමනයට බාධා එල්ල කළ මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන් බොහොමයක් දීර්ඝ කාලයක් තිස්සේ වරායේම ගොඩගැසී තිබේ. ප්‍රතිඅපනයනය සඳහා ගෙන එන ලද වාහනද මෙම අධික රඳවාගැනීමේ ගාස්තු පිළිබඳ ගැටලුවට මුහුණ දී ඇත.

රේගු නිලධාරියකු සඳහන් කර ඇති පරිදි, වසර හයකට ආසන්න කාලයක් වරායේ නවතා තිබූ රුපියල් මිලියන 20ක් පමණ වටිනා සුඛෝපභෝගී වාහනයක් නිදහස් කර ගැනීමට දේශීය ආනයනකරුවකු පසුගියදා උත්සාහ කර තිබේ. කෙසේවෙතත්, එම වාහනය නිදහස් කර ගැනීමට නම් රුපියල් මිලියන 50කට ආසන්න රඳවාගැනීමේ ගාස්තුවක් ගෙවිය යුතු බව ඔහුට දැනුම් දී ඇත.

ඒ අනුව එම වාහනයේ මුළු පිරිවැය රුපියල් මිලියන 70ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වාහනයේ මුල් වටිනාකම මෙන් තෙගුණයකටත් වඩා වැඩි අගයකි. මෙම අධික ගාස්තුව පිළිබඳව දැනගැනීමෙන් පසුව අදාළ ආනයනකරු වාහනය නිදහස් කර නොගැනීමට තීරණය කර ඇත.

රඳවාගැනීමේ ගාස්තු දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් බොහෝ ආනයනකරුවන් මෙලෙස වාහන නිදහස් කර නොගැනීමට තීරණය කිරීම නිසා සුඛෝපභෝගී වාහන සිය ගණනක් වරාය තුළ මෙලෙස අතහැර දමා ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.