July 21, 2026

රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 21 හැවිරිදි තරුණියකගේ පියා, ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුවූවා යැයි කියන වෛද්‍ය නොසැලකිල්ල පිළිබඳව වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් පියා ඉල්ලා සිටින්නේ, රත්නපුර මහරෝහලේ 13 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තම දියණියගේ මරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

එම ලිපියට අනුව, නියුමෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් ජූලි 3 වැනිදා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (හරහා ඇය ඇතුළත් කර ඇති අතර, පසුව 13 වන වාට්ටුවට මාරුකර යවා ඇත.

පවුලේ පිරිස නැවත නැවතත් ඉල්ලීම් කළද, ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයා, වෛද්‍ය නිලධාරීන් හෝ හෙද කාර්ය මණ්ඩලය විසින් තම දියණියව නිසි ලෙස පරීක්ෂාවට ලක් නොකළ බවට පියා චෝදනා කරයි.

තවද, දැඩි පපුවේ කැක්කුම, මුඛයෙන් ලේ ගැලීම, නොනවත්වා පවතින පාචනය සහ ශ්වසන අපහසුතා උත්සන්න වීම පිළිබඳව ඇය කළ පැමිණිලි සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඇතුළත් කළ දිනම ඇගේ ඔක්සිජන් මට්ටම සියයට 85 දක්වා පහත වැටී තිබූ අතර, ඔක්සිජන් ප්‍රතිකාර ලබාදුන්නද ඒ පිළිබඳව ප්‍රතිකාර භාර විශේෂඥ වෛද්‍යවරයාට වහාම දැනුම් දී නොමැති බවත්, හදිසි දැඩි සත්කාර හෝ වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකිරීමක් සිදුකර නොමැති බවටත් පියා චෝදනා කරයි.

පැමිණිල්ලට අනුව, වාට්ටුව තුළදී ඇයට හෘදයාබාධයක් ඇතිවන තෙක්ම රෝගී තත්ත්වය පිරිහෙමින් පැවතී ඇත.

පසුව ඇය දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇති අතර, එහිදී ඇය මියගොස් තිබේ.

එසේම, පටක රෝග විද්‍යාත්මක පරීක්ෂණය සිදුකරන තෙක් මරණයට තාවකාලික හේතුව නියුමෝනියාව බව අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කර ඇති බවද පියා පවසයි.

ඒ අනුව, රෝගියාගේ වෛද්‍ය වාර්තා, හෙද සටහන්, නිරීක්ෂණ සටහන්, ඖෂධ වාර්තා සහ පරීක්ෂණ වාර්තා සමාලෝචනය කිරීම, නිසි නිරීක්ෂණ සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකිරීමේ පටිපාටි අනුගමනය කර ඇත්දැයි පරීක්ෂා කිරීම, සම්බන්ධිත වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීම සහ පිළිගත් වෛද්‍ය ප්‍රමිතීන් පවත්වාගෙන ගොස් ඇත්දැයි තීරණය කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් පත්කරන ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

මේ අතර, ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් දක්වමින් රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.එච්. ජයතිලක සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන ලිපිය රෝහල වෙත ලැබී ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ තොරතුරු රෝහල විසින් දැනට රැස්කරමින් පවතින බවත්, සිදුවීමට අදාළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් වෛද්‍ය ජයතිලක පවසා ඇත.

පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු වැඩිදුර තොරතුරු ලබාදිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.