July 21, 2026

කොළඹ 08, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය විසින් ශිෂ්‍යයකු වෙත නිකුත් කරන ලද පාසල් චරිත සහතිකයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය සිය නිල ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.

2026 ජූලි 19 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම චරිත සහතිකය පිළිබඳව අදහස් දක්වමින් ආදිශිෂ්‍ය සංගමය පවසන්නේ, අදාළ ලේඛනය එම අවස්ථාවේ පැවති තොරතුරු, විනය වාර්තා සහ ශිෂ්‍යයාගේ හැසිරීම් රටාවන් මැනවින් සලකා බලා පාසල් පරිපාලනය විසින් නිකුත් කරන ලද නිල පෞද්ගලික ලේඛනයක් බවයි.

චරිත සහතිකයක් යනු ශිෂ්‍යයකු පාසල් ජීවිතය තුළ ප්‍රදර්ශනය කළ විනය, හැසිරීම සහ සදාචාරාත්මක ගුණාංග පිළිබඳව පාසල් පරිපාලනය විසින් සිදුකරනු ලබන නිල ඇගයීමක් වන අතර, එය නිකුත් කිරීමේ සම්පූර්ණ බලය හා වගකීම පාසල් පරිපාලනය සතු කාර්යභාරයක් බව ද ඔවුහු පෙන්වාදෙති.

මෙම නිල ලේඛනය සමාජ මාධ්‍ය තුළ ප්‍රදර්ශනය කිරීම මගින් අදාළ ශිෂ්‍යයාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව නිරීක්ෂණය වන බව ද එම සංගමය සඳහන් කරයි.

එබැවින්, මෙම සිදුවීම මුල්කර ගනිමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන්, පුද්ගලයන්ට, පාසලට හෝ පාසල් පරිපාලනයට අපහාස වන අයුරින් අදහස් පළකිරීමෙන් මෙන්ම සමාජ මාධ්‍ය තුළ අනවශ්‍ය මතභේද ඇති කිරීමෙන් වළකින ලෙස ආදිශිෂ්‍ය සංගමය සියලුම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි.

දශක ගණනාවක් පුරා ගොඩනැඟුණු පාසලේ කීර්තිනාමය ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර, යම් අදහසක් හෝ මතභේදයක් පවතී නම් ඒවා වගකීමෙන් යුතුව නිසි ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කරන ලෙස ද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.