July 20, 2026

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන කොළඹ 08, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහලේ සිසුවෙකුට නිකුත් කළ චරිත සහතිකය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිනිය බොරැල්ල පොලිසියට අදාළ සිසුවාට එරෙහිව පැමිණිල්ලක් සිදුකර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාව වැඩිදුරටත් මෙසේය.

විදුහල්පතිනිය වන එන්. එච්.එස්. කේ.විජේතුංග මහත්මිය ජූලි 20 දින බොරැල්ල පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව සිසුවා සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

එමෙන්ම බොරැල්ල පොලිසියේ නිලධාරියෙකු අදාළ සිසුවාට දුරකථනයෙන් අමතා ජූලි 23 වැනි දින පෙරවරුවේ බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ, වැරදි චරිත සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ යුතුව තිබුණේ විදුහල්පතිනියට එරෙහිව මිස සිසුවාට එරෙහිව නොවන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ චරිත සහතිකය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව විදුහල්පතිනිය එය නිවැරදි කර නව චරිත සහතිකයක් සිසුවාට ලබාදී ඇති බවත්, ඉන් අනතුරුව සිසුවාට එරෙහිව මෙම පොලිස් පැමිණිල්ල ගොනුකර ඇති බවත්ය.