July 20, 2026

තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ සිදුවූ දරුණු මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුර සිදුව ඇත්තේ ඊයේ පස්වරු 3.50 ට පමණ මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් එනම් තංගල්ල දෙස සිට මාතර දෙසට සිමෙන්ති පටවා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනි.

අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය තුළ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් කර ඇති අතර, ලොරි රථයේ රියදුරු සහ සහායකයා ද ඇතුළුව දෙපාර්ශවයේම හත්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

රෝහල් ආරංචි මාර්ග සනාථ කරන පරිදි ඉන් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පදවාගෙන ගිය මාතර වැවහමන්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වෙදමුල්ල කංකානම්ගේ දිනේෂ් උදයංග නැමැති අයෙක් සහ එහි ගමන් කළ මාතර හිත්තැටිය මැද ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි එස්.එම්.වී. සුභාෂ් නැමැති අයෙකි.

පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය මෙම තරුණයන් පිරිස විසින් එක් දිනක් සඳහා කුලී පදනම (Rent) මත ලබාගෙන ධාවනය කරන ලද්දක් බවයි.

අනතුරින් ඩිෆෙන්ඩර් රථයට සේම ලොරි රථයට ද දැඩි ලෙස අලාභහානි සිදුව ඇති අතර, මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.