
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික බෝවන රෝග විද්‍යාතනය හෙවත් අයි.ඩී.එච්. රෝහල කී පමණින් මතකයට නැගෙන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමය. ඔහු හා අයි.ඩී.එච්. රෝහලේ නම අදටත් බැඳී ඇත්තේ ගහට පොත්ත වාගේය. දැන් ඔහු අයි.ඩී.එච්. රෝහලෙන් ඉසිඹු ලබා ඇතිමුත් ඩෙංගු සේම කොවිඩ් කී විට තවමත් සිහිවන්නේ ඔහුමය.
කොවිඩ් වසංගත කාලයේ මුව ආවරණ පලඳින්න, දෑත් පිරිසුදු කාරක භාවිත කරන්න, මීටරයක පරතරය, කොවිඩ්වලට බිය නොවීම සහ කොත්තමල්ලි ටික බොන්නට කීමේ සිට කොවිඩ් එන්නත එන්නත්කරනය දක්වාම රටේ ජනතාව මෙහෙය වූ බලගතු චරිතය වූයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමය.
කොටින්ම කොවිඩ් එන්නත්කරනය ගැන කට කතා දුර්මත පැතිරෙන විට රට්ටු එන්නත්කරනය මග හරිද්දි මෙරට කොවිඩ් එන්නත්කරනයේ පළමු එන්නත තමන්ට විදින්නට යැයි කියා රටේ බිය දුරු කළ ඔහු වෙන කවරකුවත් නොව මේ කියන්නා වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමය.
කොවිඩ් මෙරටේ වසංගත සතුරා වන්නේ 2020 වසරේදීය. ඒත් ඊට පෙරාතුව වසංගතයක්ව පැවති රෝගයක් මඩින්නට වෙර වීරිය දැරුවේත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමය. ඒ වසංගතය අද අපි කතා කරනා ඩෙංගු ය. කොවිඩ් එන්නට පෙර මුළු රටම වෛද්‍ය ආනන්ද විජේවික්රමව දුටුවේ මෙරට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන හොඳම වෛද්‍යවරයා බවයි. එහෙයින් රට්ටු ඩෙංගු හැදුණු විට දුර බැහැර බලන්නේ නැතිව තදබද තකන්නේ නැතිව නොපමාව ගියේ අංගොඩ අයී.ඩී.එච්. රෝහලටය. ඒ රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සිටිනා බව ඔවුන් දන්නා නිසාය.
බෙහෙත් හේත් නැති ඩෙංගු මඩින්නට රටම මෙහෙය වූ ඔහුව අද අප සම්බන්ධ කර ගත්තේ වසංගතයක්ව යන ඩෙංගු මඩින්නට හා ඩෙංගු සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු කළ හැකි එකම තැනැත්තා ඔහු නිසාය.
ඩෙංගු අවදානම් තත්ත්වය එන්න එන්නම පළාතින් පළාතට යමින් රටම අවදානමකට හෙළන මේ මොහොතේ ජනතාව ලෙස තමන්ගෙන් විය යුතු වගකීම් කොටස තවමත් නිසි ලෙස නොකරන බව පෙනීයන්නේ දිනෙන් දින වැඩිවන ඩෙංගු රෝගීන් දෙස බැලූ විටය. පරිසරය පිරිසිදුව තබාගන්නට යැයි කෙතරම් කීවත් ගෙදර මිදුල පිරිසිදුකර මහ පාරට පැමිණි විට එහි කුණු දමා “දැන් නම් අපිට ඩෙංගු එන්නේ නෑ.. ” යැයි සිතන මිනිසුන් බවට පත්වීම කෙතරම් දුර්භාග්යයක්ද..
නිවෙස් අවට කෙතරම් පිරිසිදු කළත් නගර අවට ගිය විට පෙනෙන්නේ හිස් ටින් හිස් බෝතල් සහ සිලිසිලි මළුය. තවමත් ඒ ගැන අවධානය යොමු කරන්නට රටුන්ට, පළාත් පාලන ආයතනවලට වගේ වගක් නැත. ඒ වග වීම බිඳුනු තැන ඇත්තේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තියයි. ඊට හොඳම නිදසුන අද වන විට වාර්තාගත ලෙස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබීමය. එනම්, මේ වන වන විට රට පුරා සිටින සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ……… ඉහළ යමින් පවතී. මරණ සංඛ්‍යාව හතළිස් නවයේ සීමාවට පැමිණ තිබීමය.
මෙලෙස ඩෙංගු රෝගීන් දිනෙන් දින වැඩිවීම සම්බන්ධයෙන් ඇති ප්‍රධානම ගැටලුව ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කී කතාවයි මේ.
“මේ වන විට ඩෙංගු සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අඩුවක් නැතිව තිබීමයි. මේ කාරණාව මිනිස්සුත් දන්නවා. ඒත් නොදන්නවා වගේ ඉන්නවා. දැන් මේ වෙනුවෙන් කළ යුතු වන්නේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම හෝ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමයි. අනිත් දේ තමයි අපේ රටේ ජනතාවගේ හැසිරීමේ චර්යාත්මක වෙනසක් ඇති කළ යුතුයි. මේ චර්යා රටාවන් වෙනස් කරන්න අපිට පාසල්වලින් සහ මාධ්‍යයෙන් විශාල සහයෝගයක් මේ මොහොතේ අවශ්‍යයි.”
වෛද්‍යවරයා කියනා ලෙස කැළි කසළ නිසි තැන දැමීම සහ නිවෙස් අවට පිරිසිදු කිරීමට ජනයා පෙලඹවීමට කොවිඩ් කාලයේ සේම මෙදාත් කැපවිය යුතු ය. එනම්, එදා කොවිඩ් වසංගතයක්ව පැතිරී යන්නට නොදී මීටරේ දුරින් සිටින්නට, දෑත් සබන් යොදා සෝදන්නට මුව ආවරණ පලඳින්නට ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නට අවැසි විය. කොවිඩ් දැඩි අවදානම් තත්ත්වයේ දී මුව ආවරණ පලඳින්නේ නැති පිරිසට අවවාද කිරීමටත් කෙළ තැන තැන නොගසන්නට නීති පැනවීමටත් සිදුවිය.
මෙවර ඩෙංගු වසංගත තත්ත්වයේදීත් කළ යුතුව ඇත්තේ ඒ හා සමාන කටයුත්තකි. ඒත් වර්තමානයේ ඇති තත්ත්වය වන්නේ සමාජය ආකල්පමය වශයෙන් වෙනස් කිරීමට තරම් සැලසුමක් ආණ්ඩුව සතුව හෝ පළාත් පාලන ආයතන සතුව නොමැති වීමය. එහි ප්‍රතිඵලය වන්නේ වසර පහළොවක් තිස්සේ පවතින ඩෙංගු වසංගතය මර්දනය කර ගත නොහැකිව පැවතීම බව කියන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේව්ක්රමය.
“අපිට මිනිස්සුන්ගේ චර්යා රටාවන් සහ ආකල්ප වෙනස් කරගන්න බැරි හින්දා තමයි අවුරුදු පහළොවක් තිස්සේ මේ ඩෙංගු වසංගතය අපිට මර්දනය කරගන්න බැරිවෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඩෙංගු ව්‍යාප්ත වෙන්න වැඩිම හේතුවක් විදිහට තියෙන්නේ වැහිපීලි අස් නොකිරීම. එහි ඉතිරි වන වතුරවලින් මදුරුවන් බෝවන බව අපි දන්නා කරුණක්. නමුත් ඒ පීලි ඉවත් කිරීමට හෝ ඊට විසඳුමක් දෙන්න තවමත් කාටවත් බැරිවෙලා තියෙනවා. මට මතකයි කාලෙකට කලින් මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක් එකතු කරගෙන වැහිපීලි නැතිව කොහොමද ගෙවල් හදන්නේ කියන කාරණය ගැන ආණ්ඩු දැනුවත් කළා. එකපාර ගෙවල්වල තියෙන වැහි පීලි ඉවත් කරන්න බැහැනේ. ඒ නිසා ඒවට විකල්ප ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන විකල්පත් මම කියපු ගෘහ නිර්මාණ ශිල්පීන් එදා ඉදිරිපත් කළා. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න සූදානමින් සිටියේ නැහැ.”
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැහි පීලි ගැන මතක් කරන විට අපේ මතකයට නැගුණේ කියුබාවේ ඩෙංගු මට්ටු කරන්නට වැහි පීලි තහනම් කළ කාලයයි. ඒ වගේම තැන තැන ඇති ප්ලාස්ටික් බෝතල් ගැන කතා කළ විට වීදුරු බෝතල් භාවිත කළ යුගයට අපව ගෙනගියේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමය.
“පහුගිය කාලේ අමාරුවෙන් හරි ගත්ත හොඳ තීරණයක් තමයි මේ සිලි සිලි බෑග් ඉවත් කිරීම කියන කාරණය. අද වනවිට මේ දේ සම්පූර්ණයෙන්ම කළේ නැතත් යම්කිසි මට්ටමකට ඉටු වෙලා තියෙනවා. ඒත් තවමත් සුපිරි වෙළඳසල්වල සිලිසිලි බෑග් භාවිතය නම් අවම වෙලා නැහැ. ඒත් අපිට ඉස්සරහට මේ වගේ හොඳ තීන්දු තීරණ ටිකක් ගන්න වෙනවා. මට මතකයි අපි පොඩි කාලේ සිසිල් බීම ආවේ වීදුරු බෝතල්වල. අපි ඒ බෝතලේ කඩෙන් අරගෙන ගෙදර අරන් යනවනම් ඒ බෝතලේ නැවත කඩේට ගේන තෙක් පොඩි මුදලක් අය කරනවා. නැත්තං ආයෙත් බීම ගන්නකොට අර බෝතලේ දුන්නම තමයි ආයේ බීම බෝතලයක් හම්බවෙන්නේ. ඒත් දැන් තියෙන්නේ ක්ෂණිකව අරන් යන්න පුළුවන් ප්ලාස්ටික් බෝතල්. මේ බෝතල්වල බීම බීලා අපේ අය ඒවා තැන තැන විසික් කරලා දානවා. ඒ විදිහට ඒ බීම බෝතල් බැහැර කරන්නේ නැතිව අදාළ බීම බෝතල් අදාළ ආයතන වෙත ප්රතිචක්රීයකරණය කරන්න එකතු කරන්න පුළුවන් විදිහේ සැලසුමක් හදන්නත් පුළුවන්. ඒක එක යෝජනාවක් විතරයි. මේ සම්බන්ධයෙන් අනෙක් රටවල්වල ගත්ත ක්‍රියා මාර්ගත් ඕන තරම් තියෙනවා. ඒවා උනත් මෙරටට ආදේශ කරලා අත්හදා බලන්න පුළුවන්.”
දැනට පවතින ඩෙංගු වසංගතය පාලනය කිරීමට සහ අනාගත ආයෝජනයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග ගැන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉදිරිපත් කළ යෝජනා කිහිපයකි ඒ.
සාමාන්‍යයෙන්ම පාසල හඳුන්වන්නේ පොතපතේ දැනුම වගේම පාසලෙන් පසු එකතු වන මහා සමාජය හා ගනුදෙනු කරන අයුරු සහ කළ යුතු නොකළ යුතු දෑ ගැන කියා දෙන තැනයි. ඒ වගේම අ යනු ආ යන්නේ සිට පිළිවෙළකට බත්පත අනුභව කිරීමේ සිට වැසිකිළි කැසිකිළි භාවිත කළ විට දෑත් සේදීම දක්වා කුඩා දරුවාව හික්මීමෙන් පුරුදු පුහුණු කරයි. ඒත් මෑතක් වන විට පොත පතේ දැනුම පමණක්ම දරුවාගේ මොළයට පොම්ප කරන පාසල් ඕනෑ තරම් තිබුණත් හොඳ පුරුදු පොම්ප කරන පාසල් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි.
පාසලේ දී කැසිකිළි වැසිකිළි භාවිතය උගන්වනවා සේම කැළිකසළ නිසි තැන දමන අයුරුත් ඒ කුඩා මොළවලට ඉගැන්වීම අනාගත මහා සමාජය පිරිසිදු සමාජයක් කරන්නට මඟ පාදන්නක් බව විශේෂඥ වෛද්‍යය ආනන්ද විජේවික්‍රමගේ මතයයි.
මේ මතය තහවුරු කරගන්නට ඔහු අතීතාවර්ජනයක යෙදුණි.
“අපි වෛද්‍ය ශිෂ්‍යයෝ විදිහට ඉන්න කාලේ ලංකාවේ තිබුණු ලොකුම ගැටලුවක් තමයි පාචනය. එදා පාචනය වැලඳිලා ළමයි මැරෙන අවස්ථා පවා තිබුණා. ඒ කාලේ ළමා රෝහලේ පාචනය වැලඳුණු දරුවන් වෙනුවෙන් වෙනම වාට්ටුවකුත් තිබුණා. හැබැයි දැන් ඒ වාට්ටුව නැහැ. වාට්ටුව නෑ කියන්නේ ඒ වාට්ටුව දැන් පාචන රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුවක් නෙවෙයි කියන එකයි. ඒකට හේතුව දැන් ලංකාවේ පාචන රෝගීන් හම්බවෙන්නේ ඉතාමත් අඩු මට්ටමින් වීමයි. ඊට ප්‍රධානම හේතුව වුණේ එය අවම කරන්න පාසලෙන් ලැබුණු දායකත්වයයි. කන්න කලින් අත හෝදන්න, වැසිකිළි කැසිකිළි ගිහිල්ලා ආවම අත හෝදන්න, වැසිකිළි භාවිතය ගැන පුංචි කාලෙ ඉඳලම ඉගැන්නුවා. ඒ නිසා අපිටත් පුළුවන් ඩෙංගු මර්දනයටත් මේ වගේ මධ්‍ය කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඒත් කනගාටුවට කරුණ තමයි ඩෙංගු වසංගත තත්ත්වයන්ට මුහුණ දෙමින් අවුරුදු පහළොවකුත් ගෙවිලා ගිහිල්ලත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ප්‍රතිපත්ති සම්පාදකයින් පවා පෙලඹෙන්නේ නැති වීමයි.”
දඩ පැනවීමෙන් හෝ සිරගත කිරීමෙන් ඩෙංගු පාලනය කළ නොහැකි අතර මිනිසුන්ගේ චර්යාත්මක රටාවන් වෙනස් කිරීමෙන් එය පාලනය කිරීම වඩාත් පහසු බව වෛද්‍ය මතයයි.
මේ ගැටලු අතරට අලුතින්ම එකතු වූ ගැටලුව වන්නේ ඩෙංගු රෝගය වැලඳී නිසි අයුරින් ප්‍රතිකාර ගන්නේ නැතිව ප්‍රමාද වී පැමිණෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ යාමයි.
“එහෙම වෙන්න හේතුව රෝග ලක්ෂණ හඳුනා ගැනීමට තියෙන පමාවද නැතිනම් රෝහල් ගතවීමට ඇති අකමැත්තද..” යැයි අපි වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසුවෙමු.
“ඔය කියන හැම දෙයක්ම වෙන්න පුළුවන්. අපි රෝගීන්ට හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ දින දෙකකට වඩා උණ තිබුණ නම් වහාම ගිහින් Full Blood Count (FBC) පරීක්ෂාවක් කරගන්න කියලා. ඒත් සමහරු උන අඩු උනා කියල ඒ පරීක්ෂණය කර ගන්නේ නැතුව ඉන්නවා. නැත්තං වෙන මොකක් හරි වැඩ කටයුත්තක් නිසා ඒ පරීක්ෂණය පරක්කු කරගන්නවා. එතකොට වෙන්නේ වැලඳිලා දවස් හතර පහක් ගියාට පස්සේ දැඩි ලෙස අමාරු වෙලා තමයි මේ අය රෝහල් ගතවෙන්න බලන්නේ.” යැයි ආනන්ද විජේවික්‍රම කියන්නේය.
“හැබැයි මරණ සංඛ්‍යාව කලින්ට වඩා අඩු මට්ටමක නේද තියෙන්නේ..” අතීත ඩෙංගු වසංගත තත්ත්වයන්ගේ දත්ත පදනම් කර ගනිමින් අපි ඔහුගෙන් විමසුවෙමු.
“ඔව්.. විශාල වශයෙන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හමු වුවත් මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වාගෙන යන්නට අපිට හැකි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට කිවුවොත් 2009 අවුරුද්දේ ඩෙංගු රෝගය වැලඳුණු තිස් පන්දහසකින් තුන්සිය පනස් හතර දෙනෙකුම මියගියා. දැනට තියෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව බැලුවොත් මරණ සංඛ්‍යාව පන්සියයට ආසන්න වෙන්න ඕනේ. ඒත් ඒ මට්ටමට ගෙනියන්නෙ නැතුව හතළිස් නවයක මරණ සංඛ්‍යාවක පවත්වාගෙන යන්න හැකි වෙලා තියෙනවා. මේ මරණවලින් බොහෝ මරණවලට හේතුව ප්‍රමාද වී ප්‍රතිකාර ගැනීම, උණ රෝගය තිබියදීත් රාජකාරියට යාම, Full Blood Count (FBC) පරීක්ෂාවක් නොකිරීම, වේදනා නාශක ගැනීම ආදී කරුණුයි. අපිට දෙන්න තියෙන එකම උපදෙස තමයි පැය 48 කට වඩා උණ තිබුණොත් Full Blood Count (FBC) පරීක්ෂාවක් කරලා ඒ වාර්තාව වෛද්‍යවරයෙක්ට ඉදිරිපත් කරලා ඔවුන් දෙන උපදෙස් පිළිපදින්න කියලයි කියන්න තියෙන්නේ.”
වෙන කවර කාලයන්ටත් වඩා මේ දිනවල ඩෙංගු රෝගයට වළකාලන්නට දිය හැකි අත් බෙහෙත් ගැන සමාජයේ විශාල කතිකාවතක් පවතී. ඒ අතරේ පැපොල් කොළ යුෂ බීම, කොළ ඇපල් බීම, පොලොස් තම්බා කෑම හෝ ඩෙංගු තෙල් ගෑම ආදී අමුතු තාලයේ ප්‍රතිකාර විධි ගැනත් ඕනෑ තරම් අසන්නට ලැබේ.
“මේ දවස්වල කතාවෙන අමුතු ප්‍රතිකාර ක්‍රමවලින් ඩෙංගු මට්ටු කරන්න පුළුවන්ද..” අපි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් වීමසුවෙමු.
“ඩෙංගු රෝගය උත්සන්න වෙලා අපි ගාවට එන රෝගීන් අතරේ ඉන්නවා සමහරු පැපොල් කොළ කොටලා බීලා, පොලොස් තම්බල කාලා ඩෙංගු හොඳ කර ගත්තයි කියලා හිතපු අය. අනිත් දේ තමයි ඇපල් ජූස් කියන එක. ඇත්තටම ඩෙංගු අඩු වෙන්න කියලා ඇපල් ජූස්වලට සල්ලි වියදම් කරන එක බොරු වැඩක්. ඇත්තටම ඒක මෝඩ වැඩක්. ඊට වඩා හොඳයි තැඹිලි ගෙඩියක් බොන එක. ඇත්තටම අපි ඩෙංගු රෝගීන්ට නිර්දේශ කරන්නේ තැඹිලි, කැඳ, ජීවනී, දෙහි දොඩම් වගේ දේවල් තමයි බොන්න කියලා අනික මේ කට කතා විදිහට යන ඩෙංගුවලට හොඳයි කියන අත් බෙහෙත් හෙළ වෙදකමේ හෝ ආයුර්වේද වෙදකමේ තියෙන නිර්දේශ කරපු බෙහෙත් නෙවෙයි. මේව නිකං කට කතාවලින් මිනිස්සු අතරට පැතිරිච්ච දෙයක්.” වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියන්නේය.
“සමහරු හිතනවා මේවා ගත්තම පට්ටිකා ප්‍රමාණය වැඩිවෙනවා කියලා.. ඒක ඇත්තද..” වැඩි කුතුහලය නිසාම වෛද්‍යවරයාගෙන් අපි ඒ සම්බන්ධයෙන් විමසුවෙමු.
“මිනිස්සු අතර බියක් පැතිරෙනවා පට්ටිකා ප්‍රමාණය අඩුවීම සම්බන්ධයෙන්. ඒක ඩෙංගු රෝගී තත්ත්වයේදී සිදුවන සාමාන්‍ය දෙයක්. අනික ඩෙංගු රෝගය හොඳ වෙනකොට නිකම්ම පට්ටිකා ප්‍රමාණය වැඩිවෙන්න ගන්නවා. ඒ කියන්නේ උණ පටන් ගත්ත දවසේ ඉඳලා දවස් හයක් යනකන් පට්ටිකා ප්‍රමාණය අඩුවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ උණ වැලඳිලා හත් වැනි දවස වෙනකොට පට්ටිකා ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි සිදුවන ක්‍රියාවලිය. මේ කියපු විදිහ එක එක්කෙනාගේ ප්‍රතිශක්තිකරණය අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එක එක අත් බෙහෙත් බීලා හෝ වෙනයම් ක්‍රමයකින් හෝ මේ පට්ටිකා ප්‍රමාණය ක්ෂණිකව වැඩිකර ගත්තොත් වෙන්නේ ලෙඩේ හොඳ වෙන එක නෙවෙයි. ඊට පස්සේ වෙන්නේ අසාධ්‍ය මට්ටමකට හෝ වෙනත් සංකූලතා පෙන්නන්න පටන් ගැනීමයි.
ඩෙංගු හැදෙන්නෙ වයිරස් එකකින්. ඒ නිසා සමහර අයට වෙනස් වෙනස් සංකූලතා හට ගන්න පුළුවන්. එතකොට ප්‍රතිකාර කරන්නේ ඩෙංගු උණට නෙමෙයි ඒ පෙන්වන සංකූලතාවලටයි. අනිත් දේ තමයි උණ අඩු උනා කියලා ලෙඩේ හොඳයි කියලා හිතන්න නරකයි. මොකද උණ අඩු වෙනවත් එක්කම තමයි සංකූලතා තියෙනවනං අන්න ඒ දේවල් මතු වෙන්න පටන් ගන්නේ. අන්න ඒ කාලයේදී තමයි මේ රෝගීන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් දේ තමයි ඩෙංගුවලට කොහෙවත් බෙහෙතක් නැහැ. බෙහෙත් දෙන්නෙත් නැහැ.”
ඩෙංගු මට්ටු කළ හැකි අයුරු ඩෙංගු ගැන අ යනු ආ යනු දන්නා කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කළ දිර්ඝ පැහැදිලි කිරීමයි මේ.
(උපුටාගැනීම – අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart