July 18, 2026

“සර් උදේ ව්‍යායාම වලට යන්න ලෑස්තිවෙලා කාමරයෙන් එළියට ඇවිත් මගෙන් ඇහුවා ඔයා මොකක්ද පාවිච්චි කරන වෙපන් එක කියලා. මම මගේ පිස්තෝලයේ මැගසින් එක ගලවලා ඒක සර්ට දුන්නා. මැගසින් එකත් සර් මගෙන් ඉල්ල ගත්තා. මම ඒකත් දුන්නා. ඊට පස්සේ සර් මට කිව්වා වතුර බෝතලයක් අරන් එන්න කියලා. මම ඒක ගේන්න කුස්සිය පැත්තට ගිය වෙලාවේ ඩෝං ගාලා සද්දයක් ඇහුණා. මම දුවගෙන ඇවිත් බලද්දි සර් ආලින්දයේ වෙඩි වැදිලා බිම වැටිලා සිටියා යැයි හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පාපොච්චාරණය කළේය. හිටපු පොලිස්පතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනුයුක්ත කර සිට ඇති අතර එදින රාජකාරි කරමින් සිට ඇත්තේ ඉන් එක් නිලධාරියෙකි.

CD වික්‍රමරත්න වෙඩි තබාගැනීම සඳහා පාවිච්චි කළ පිස්තෝලය පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ ආරක්ෂකයන් සඳහා ලබාදී තිබූ එකකි.

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශරීර අභ්‍යාස ව්‍යායාමවල නිරත වීම සඳහා මාලබේ තලාහේනේ පිහිටි නිවසේ සිය කාමරයෙන් පිටතට පැමිණ ඇත්තේ ඊයේ (17 වැනිදා) උදෑසන 7.00ට පමණය.

CD වික්‍රමරත්න කාමරයෙන් පිටතට පැමිණ නිවසේ සාලයේ සිටි සිය ආරක්ෂක නිලධාරියාගේ පිස්තෝලය ඉල්ලාගෙන ඇත.

පසුව ඔහු සිය ආරක්ෂක නිලධාරියාට වතුර වීදුරුවක් රැගෙන එන ලෙස දන්වා එම ස්ථානයෙන් පිටතට යවා පිස්තෝලයෙන් පපුව ප්‍රදේශයට වෙඩි තබාගෙන තිබේ.

වෙඩි හඬ ඇසීමත් සමඟම සාලය වෙත දිව ආ ආරක්ෂක නිලධාරියා දැක ඇත්තේ CD වික්‍රමරත්න වෙඩි තබාගෙන බිම වැටී සිටින ආකාරයයි. ඒ අවස්ථාවේ CD වික්‍රමරත්නගේ බිරිඳ සහ බාල පුත්‍රයා ද නිවසේ සිට ඇති අතර ඔවුන් එක්ව ඔහුව මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

හිටපු පොලිස්පතිවරයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම සිද්ධිය සැලවීමත් සමඟම මාලබේ තලාහේනේ පිහිටි නිවස වෙත ගිය බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ.

සී. ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් පිස්තෝලය නිවසේ සාලයේ වැටී තිබියදී පොලීසිය විසින් සොයාගන්නා ලදී.

සී. ඩී. වික්‍රමරත්නගේ පුත්‍රයකුගේ විවාහය දෙදරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු දැඩි චිත්ත පීඩාවකට ලක්වෙමින් සිටි බව මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

එමෙන්ම පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මීට මාස කීපයකට උඩදී සී. ඩී. වික්‍රමරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණේය.

සී. ඩී. වික්‍රමරත්න මේ ආකාරයට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමට හේතුව ඊයේ සවස් වන තුරුත් අනාවරණය වී නොතිබිණි.

පාස්කු ප්‍රහාරයේදී සාරා ජෙස්මින් මියගිය බවට නැවත නැවතත් ඩී. එන්. ඒ. පරීක්ෂණ සිදුකර තහවුරු කරන ලෙස තමන්ට පසුගිය රජයේ හිටපු ප්‍රබලයකු බලපෑම් කළ බවට සී. ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් සාක්ෂියේ සඳහන්ව තිබූ බව පැවසේ.

සාරා ජෙස්මින් සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරා ගෙන මියගිය බව මුල් පරීක්ෂණවලින් තහවුරු වී නොතිබියදී මේ සම්බන්ධයෙන් සිදු කළ තුන්වැනි ඩී. එන්. ඒ. පරීක්ෂණයේදී ඇය මියගිය බව තහවුරු කෙරිණි. එම තුන්වැනි ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කරනු ලැබුවේ සී. ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයාව සිටි කාලසීමාවේදීය.

එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රසාද් රණසිංහය. ඉකුත් 2019 පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි පූජිත් ජයසුන්දර වැඩ තහනමට ලක්කිරීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබුවේ චන්දන වික්‍රමරත්නය.

2020 වර්ෂයේ නොවැම්බර් 25 වැනිදා පොලිස්පති තනතුරේ ස්ථිර කරනු ලැබීමෙන් පසු 2023 වර්ෂයේ නොවැම්බර් 25 වැනිදා දක්වා එම තනතුරේ රාජකාරි කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව සිටි කාලසීමාවේදී අවස්ථා 3කදී සේවා දීර්ඝ කිරීම් ලබාදී තිබිණි.

පොලිස් ඉතිහාසයේ වැඩ බලන පොලිස්පති ධුරයේ 13 වතාවක් රාජකාරි කරනු ලැබුවේ සී. ඩී. වික්‍රමරත්න ය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ චන්දන වික්‍රමරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. ඔහු 1986 වර්ෂයේ ජුනි මාස 16 වැනිදා පොලිස් සේවයට එක්වන්නේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසය.

(උපුටාගැනීම – දිවයින පුවත්පත)