July 17, 2026

ඇත්දළ සහ කොටියන් ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන්ගේ ශරීර කොටස් යොදාගනිමින් විවිධ පලඳනා සකස් කර අලෙවි කිරීමට සූදානම් වූ ප්‍රධාන දේවාල දෙකක කපුවන් දෙදෙනකු සහ තැරැව්කරුවකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සහාය ඇතිව බොරැල්ල සහ පානදුර ප්‍රදේශවලදී මෙම විශේෂ වැටළීම සිදුකර තිබේ.

රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලකට මෙම වනසත්ත්ව පළඳනා අලෙවි කිරීමට සූදානම් කර තිබූ අතර, වනජීවී නිලධාරීන් මුවාවෙන් ගොස් මෙම භාණ්ඩ මිලදී ගන්නා බව අඟවමින් සැකකරුවන් කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 21, 35 සහ 36 යන වයස්වල පසුවන්නන්ය.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් මෙසේය:

– බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘මහ සොහොන් දේවාලයේ’ ප්‍රධාන කපුවා

– පානදුර විෂ්ණු දේවාලයේ කපුවෙක්

– මෙම සත්ත්ව කොටස් අලෙවි කිරීමට සම්බන්ධ වූ තැරැව්කරුවෙක්

මොවුන් අතරින් එක් කපුවකු ‘අයිස්’ මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහිවූවකු බවට වනජීවී නිලධාරීහු සැක පළකරති.

සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් වනසත්ත්ව කොටස් සහ භාණ්ඩ තොගය මෙසේය:

– ඇත්දළ සුර 8ක්, ඇත්දළවලින් සකසන ලද මාලයක්, පළඳනාවක් සහ මංජුසා 2ක්

– අඩි දෙකක් දිග ව්‍යාජව සකස් කරන ලද ඇත්දළයක්

– දැඩි ආරක්ෂිත සත්වයකු වන කොටියෙකුගේ දත් 5ක්

– තිත් මුව අං 2ක් සහ ඕලු මුව අං 2ක්

– මුහුදු හක්බෙල්ලන් 3ක් සහ කළු කොරල් කැබලි 2ක්

රිටිගල, කුරුණෑගල, බුලත්කොහුපිටිය සහ අත්තිඩිය යන වනජීවී කාර්යාලවල නිලධාරීන් විසින් වනජීවී උසස් නිලධාරීන් රැසකගේ උපදෙස් මත මෙම වැටළීම මෙහෙයවා තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දැනට එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ වනජීවී බැඳුම්කර ඇප මත නිදහස් කර ඇති අතර, ලබන 20 වැනිදා මාලිගාකන්ද සහ පානදුර යන අධිකරණ හමුවේ පෙනීසිටින ලෙස ඔවුන්ට නියෝග කර ඇත.