July 17, 2026

ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන සියලුම සබන් නිෂ්පාදන සඳහා අනිවාර්ය ලේබල් කිරීමේ අවශ්‍යතා හඳුන්වාදෙමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 10(1)(අ) වගන්තිය යටතේ පනවා ඇති මෙම නියෝගය සියලුම නිෂ්පාදකයන්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළෙඳුන් වෙත බලපැවැත්වේ.

මෙම නව රෙගුලාසිය 2027 ජූලි 9 වැනිදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

නව ලේබල් රෙගුලාසිවල අඩංගු ප්‍රධාන කරුණු මෙසේය.

සබන් නිෂ්පාදනයේ නම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම (නැතහොත් අවම වශයෙන් ඉන් භාෂා දෙකකින්) ඇසුරුමේ ප්‍රධාන මුහුණතෙහි තද අකුරින් මුද්‍රණය කළ යුතුය. තෙවැනි භාෂාව ඇසුරුමේ වෙනත් ඕනෑම ස්ථානයක මුද්‍රණය කළ හැකිය.

සබන්හි අඩංගු සමස්ත තෙල් ප්‍රතිශතය (Total Fat Content) පැහැදිලිව ඇසුරුම මත ප්‍රදර්ශනය කළ යුතුය. මේ සඳහා භාවිත කරන අකුරුවල ප්‍රමාණය අවම වශයෙන් මිලිමීටර 2 (2 mm) හෝ ඊට වැඩි තද අකුරින් තිබීම අනිවාර්ය වේ.

මෙම රෙගුලාසියට යටත් වන සබන් වර්ග පහතින් දැක්වේ;

* බේබි සබන් (Baby Soap)
* ඇඟ ගාන සබන් (Toilet Soap)
* රැවුල කපන සබන් (Shaving Soap)
* කාබොලික් සබන් (Carbolic Soap)
* රෙදි සෝදන සබන් (Laundry Soap)
* බේතිං බාර් (Bathing Bars)
* මෘදු සබන් (Soft Soap)

මෙම ගැසට් නිවේදනය බලාත්මක වන දින සිට ඉහත සඳහන් ප්‍රමිතීන්ට අනුකූල නොවන කිසිදු සබන් නිෂ්පාදනයක් මෙරට වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම සපුරා තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.