July 17, 2026

ඕස්ට්‍රේලියානු අපනයන මුදල් ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක රජයේ ණය වාරිකයක්, එහි ඇති වූ අක්‍රමිකතා හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වියට්නාමය යන රටවල අනුරූපී බැංකු තුනක් විසින්ම ප්‍රතික්ෂේප කර හරවා එවා තිබියදීත්, වංචාකරුවන් විසින් ලබාදුන් ව්‍යාජ උපදෙස් මත භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාවක් සාර්ථක කර ගැනීමට ඉඩ හැර ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පසුගියදා හෙළිවිය.

මිනසෝටා (ඇමරිකාව), ඩුබායි සහ වියට්නාම බැංකු හරහා සිදුකිරීමට ගිය මෙම මූල්‍ය හුවමාරුවේදී සැකකටයුතු තත්ත්වයන් මතු වූ බැවින් එම බැංකු විසින් මුදල් ආපසු හරවා යවා තිබේ.

කෙසේවෙතත්, මුදල් ප්‍රතික්ෂේප වන සෑම අවස්ථාවකදීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් සන්නිවේදනය කර ඇත්තේ සැබෑ ණය හිමියා සමඟ නොව, ඊමේල් පණිවුඩ මඟින් වංචනික ලෙස ණය හිමියා ලෙස පෙනීසිටි හැකර්වරුන් සමඟය. වංචාකරුවන් විසින් දිගින් දිගටම ලබාදුන් නව ගෙවීම් උපදෙස් මත පදනම්ව අවසානයේ මෙම මුදල් වංචාව සිදුව ඇත.

මුදල් වාරික දිගින් දිගටම ප්‍රතික්ෂේප වී පැමිණීමේදී ශ්‍රී ලංකා මහබැංකුව කටයුතු කර ඇති ආකාරය පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි.

රජයේ බැංකුකරු ලෙස මුදල් ප්‍රතික්ෂේප වන සෑම අවස්ථාවකදීම ඒ බව භාණ්ඩාගාරයට දැනුම්දුන් නමුත්, මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත ‘සැකකටයුතු ගනුදෙනු වාර්තාවක්’ ඉදිරිපත් කිරීමට තමන්ට නීතිමය බැඳීමක් නොමැති බව මහබැංකු නිලධාරීන් එහිදී ප්‍රකාශ කළේය.

එම මතය ස්ථාවර කරමින් මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් පැහැදිලි කළේ මධ්‍යම බැංකුව යනු එම පනතේ 7 වැනි වගන්තිය යටතේ වාර්තා කිරීමට බැඳීසිටින ‘ආයතනයක්’ නොවන බවයි.

තවද, මෙම පනත මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමට අදාළ වන්නක් බැවින්, මුදල් ගෙවන්නා වන රජය නීතිවිරෝධී කටයුත්තක නිරතවන බවට සැකකිරීමට හේතුවක් නොතිබූ බව ඔවුහු පැවසූහ.

“රටක ස්වෛරී ණය ගෙවීමක් විදේශීය බැංකු විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර හරවා එවද්දී, මුදල් විශුද්ධිකරණ නීති රාමුවෙන් පරිබාහිරව හෝ ඒ පිළිබඳව ඉහළ මට්ටමේ දැඩි විමර්ශනයක් සහ පියවරක් ගැනීමට මෙරට පද්ධතියට නොහැකි වීම බරපතළ අඩුපාඩුවක්.” යැයි එහිදී කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වාදුන්නේය.

සභාපතිවරයා යෝජනා කළේ මෙවැනි සයිබර් තාක්ෂණය උපයෝගී කරගෙන සිදුකරන මූල්‍ය වංචාවන් වැළැක්වීම සඳහා පවතින නීති රීති සංශෝධනය කළ යුතුද යන්න පිළිබඳව කාරක සභාව ඉදිරියේදී සලකා බලන බවයි.

රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු මහබැංකුවේ සිට නව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරීමේ සංක්‍රාන්ති සමයේදී මෙහෙයුම් පාලනයන් නිසි පරිදි සිදුවූයේද යන්න පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ පුහුණුව ලබන නිලධාරීන්ට ලබාදුන් මඟපෙන්වීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක සඳහන් කරුණු පිළිබඳව සාකච්ඡා වූ අතර, හිටපු රාජ්‍ය ණය දෙපාර්තමේන්තු නිලධාරීන් එම සොයාගැනීම් ප්‍රතික්ෂේප කරමින් කියාසිටියේ තමන්ට නිසි පුහුණුව සහ පැවරීමේ කටයුතු ලේඛනගත සාක්ෂි සහිතව නිසි පරිදි නිමකර ඇති බවයි.

මේ අතර, මෙම භාණ්ඩාගාර වංචාව සිදුවූ වාතාවරණය තුළ මධ්‍යම බැංකුව මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විෂය පථයට ඇතුළත් වන්නේද යන්න සහ දෙපාර්ශවයේ වගකීම් සම්බන්ධයෙන් නීතිමය උපදෙසක් ලබාදීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් අධිකරණයෙන් තවදුරටත් කල් ඉල්ලා සිටියේය.