July 16, 2026

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පිහිටි නාගරික පාසල් සහ අන්තර්ජාතික පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය බරපතළ ලෙස ඉහළ ගොස් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරයි.

කොළඹ අද (16) පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ප්‍රකාශ කළේ, විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම සහ පාසල් අවට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවීම ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවයි.

අන්තර්ජාතික පාසල්වල සිසුන් අතරද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් වැඩි වශයෙන් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.

පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ වන විට වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් 8,459 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතර පාසල් යන සහ නොයන වයස අවුරුදු 21ට අඩු ගැහැනු දරුවන් 161 දෙනකු ද සිටින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේය.

ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට බලපා ඇති ප්‍රධානතම හේතු කිහිපයක් ද මෙහිදී පෙන්වා දෙන ලදී:

එනම්, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීමෙන් පසු ඇති වන මානසික බිඳවැටීම, නාගරික ප්‍රදේශවල පවතින අනාරක්ෂිත පවුල් පසුබිම සහ
මව්පියන් මත්ද්‍රව්‍යවලට හුරු වී සිටීම හෝ රැකියා සඳහා විදේශගත වී තිබීම යි.

මේ වන විටත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින දරුවන් හඳුනාගෙන ඔවුන් කඩිනමින් පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගනිමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එමෙන්ම, පාසල් අවට මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන සැකකරුවන් කොටුකරගැනීම සඳහා ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් විශේෂ කාර්යභාරයක නියැලී සිටින අතර, ඔවුන් හරහා අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සූදානමින් සිටී.