July 16, 2026

කොළඹ මහ නගර සභාව විසින් සංශෝධිත විනෝද බදු අනුපාත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව සිනමා ශාලා, ක්‍රීඩා තරඟ, ප්‍රසංග සහ තවත් විනෝදාස්වාද ක්ෂේත්‍ර කිහිපයක බදු අනුපාත අඩුකිරීමට පියවර ගෙන ඇත.

මෙම නව බදු අනුපාත කොළඹ මහනගර සභාවේ 2026 අයවැය යටතේ අනුමත කර ඇති අතර, අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ඒවා මේ වන විට බලාත්මක වී තිබේ.

සිදුකර ඇති ප්‍රධාන සංශෝධන අතර, දේශීය කලාකරුවන් සහභාගී වන ප්‍රසංග සඳහා වන විනෝද බද්ද 7% දක්වා අඩුකර ඇති අතර, විදේශීය කලාකරුවන් සහභාගී වන ප්‍රසංග සඳහා 10% ක බද්දක් පනවා ඇත.

සිනමා ප්‍රවේශ පත්‍ර සඳහා 7% ක විනෝද බද්දක් ද, දේශීය ක්‍රීඩා තරඟ සඳහා 7% ක බද්දක් ද අයකෙරෙනු ඇත.

කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බැල්තසාර් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක කර්මාන්තයට සහයෝගය දක්වන අතරම, මහජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතිය සහ ක්‍රීඩා භුක්ති විඳීමට වැඩි අවස්ථාවන් නිර්මාණය කර දීම සඳහා මෙම පියවර හඳුන්වාදුන් බවයි.

හැකි සෑම අවස්ථාවකදීම ප්‍රවේශ පත්‍ර මිල අඩුකරමින්, මෙම බදු සහනයේ ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස නගරාධිපතිනිය උත්සව සහ ප්‍රසංග සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

“අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිලාභය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී ජනතාව අතරටත් යාවි කියලා” යැයි පැවසූ නගරාධිපතිනිය, විනෝදාස්වාදය සඳහා යන පිරිවැය අඩුකිරීම තුළින් සංගීතය, රංග කලාව, ක්‍රීඩාව සහ පොදු සංස්කෘතික අත්දැකීම් ඔස්සේ වඩාත් ප්‍රාණවත් නගරයක් ගොඩනැඟීමට උපකාරී වනු ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළාය.