July 14, 2026

ඉරානයේ වත්මන් පාලනය පෙරළා දමා, එහි නව නායකයා ලෙස තමන්ව පත්කිරීම සඳහා ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ බුද්ධි අංශය රහසිගතව තමන්ව බඳවා ගැනීමට උත්සාහ කළ බවට පළවන වාර්තා ‘හොලිවුඩ් පන්නයේ’ අසත්‍ය ප්‍රබන්ධ බව පවසමින් ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද් එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඇමෙරිකානු, ඊශ්‍රායල සහ ඉරාන නිලධාරීන් උපුටා දක්වමින් ඇමෙරිකාවේ The New York Times පුවත්පත වාර්තා කර තිබුණේ, වසර ගණනාවක සිට ඊශ්‍රායලය අහමදිනෙජාද් සමඟ රහසිගත සබඳතා පැවැත්වූ බවයි.

මේ වසරේ (2026) පැවති යුද සමයේදී ඔහුව ඉරානයේ බලයට පත්කිරීම ඊශ්‍රායලයේ සැලසුම වී තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, අහමදිනෙජාද්ගේ කාර්යාලය සඳුදා (ජූලි 13) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මුදලට අසත්‍ය පුවත් මවන ආයතනයක් බවත්, අහමදිනෙජාද් සාමාන්‍ය පරිදි සිය දේශපාලන කටයුතුවල නිරත වන බවත්ය.

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට අනුව, 2024 සහ 2025 වසරවල හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර විශ්වවිද්‍යාලයක පැවති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවක් මෙම රහසිගත සාකච්ඡා සඳහා පෙරමුණක් ලෙස භාවිත කර ඇත.

එහිදී ඊශ්‍රායලයේ එවකට බුද්ධි අංශ ප්‍රධානී ඩේවිඩ් බර්නියා ද අහමදිනෙජාද් හමුවීමට පැමිණ ඇති අතර, ඊශ්‍රායලය ඔහුට නවාතැන් හා ගමන් වියදම් සඳහා රහසිගතව මුදල් ද ගෙවා තිබේ.

පසුගිය පෙබරවාරි අගභාගයේදී ඔහුගේ නිවසට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු, මොසාඩ් නියෝජිතයන් ඔහුව කළු පැහැති මෝටර් රථයකින් රහසිගත ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඇතත් එම සැලසුම අවසානයේ අසාර්ථක වී ඇත.

දැනට ලැබෙන තොරතුරුවලට අනුව, මෙම රහසිගත සබඳතා හෙළිවීමෙන් පසු අහමදිනෙජාද් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) බුද්ධි අංශය මඟින් නිවාස අඩස්සියේ තබා ඇති බව පැවසේ.

කෙසේවෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අංශයේ හිටපු බුද්ධි ප්‍රධානී තමීර් හේමන් මැයි මාසයේදී ප්‍රකාශ කර තිබුණේ, ඉරාන රජය පෙරළීමේ සුවිශේෂී රහසිගත මෙහෙයුම් දාමයක අහමදිනෙජාද් ද ප්‍රධාන කොටස්කරුවකු වූ බවයි.