July 11, 2026

තායිලන්තයේ කලාසින් ප්‍රදේශයෙන් ලෝකයම හොල්ලන අමුතුම විදියේ සොයාගැනීමක් ගැන වාර්තා වෙනවා. ඒ මීට අවුරුදු මිලියන 150කට කලින් මේ ලෝකයේ ජීවත් වුණු, මෙතෙක් කවුරුත් දැකලා නැති අලුත්ම ඩයිනසෝර විශේෂයක පොසිල වගයක් හොයාගැනීමත් එක්කයි.

Uragasaurus kalasinensis කියලා නම්කරලා තියෙන මෙම ශාක භක්ෂක ඩයිනසෝරයාට අසාමාන්‍ය විදියේ දිග බෙල්ලක් තිබිලා තියෙනවා. වඩාත්ම පුදුම හිතෙන දේ තමයි මේ සතා දිගින් මීටර් 20ක් විතර වෙනවලු. ඒ කියන්නේ හරියටම අපේ ක්‍රිකට් පිච් එකක දිග ප්‍රමාණයටම සමානයි.

මේ කතාවේ ආරම්භය සිද්ද වෙන්නේ 2008 අවුරුද්දේ. ගමක මනුස්සයෙක්ට නයි කොරපොතු වගේ පෙනෙන අමුතු කැබලි වගයක් හමුවෙලා තියෙනවා. පස්සේ බලනකොට තමයි තේරිලා තියෙන්නේ මේවා නයි කොරපොතු නෙවෙයි, ජුරාසික් යුගයට අයිති ඩයිනසෝර පොසිල කියලා.

මෙම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය අපිරාත් නිල්පනපන් ජනමාධ්‍යයට කියලා තියෙන්නේ, මේ අලුත් සතාව අඳුරගන්න උදව් වුණේ උගේ පිට මැද තිබුණු කොඳුඇට පෙළේ කොටසක් කියලා. ඒක CT ස්කෑන් එකකට ලක්කරද්දී තමයි උගේ සිරුරේ තියෙන අමුතුම Y හැඩයේ ඇටමිදුළු සැකැස්ම සහ ලෝකයේ වෙන කිසිම ඩයිනසෝරයෙක්ට නැති සුවිශේෂී වායු කුහර ව්‍යුහය දැකලා තියෙන්නේ.

“මේක ලෝකයේ වෙන කිසිම සතෙක්ට නැති එකක්. මේක තමයි මූව අනිත් උන්ගෙන් වෙන් කරන්නේ” කියලා ආචාර්ය අපිරාත් කියනවා.

ආචාර්ය අපිරාත් තව අපූරු රහසක් හෙළිකළා. ඒ තමයි තමන් මේ සොයාගත්තේ ලෝකයටම අලුත් ඩයිනසෝර විශේෂයක් නේද කියලා තේරුණු සැනින්, සතුට සහ සහනය වැඩිකමට තමන් ඉස්සරහා තිබුණු පරිගණක කීබෝඩ් එකට ගහලා ඒක කුඩුකරලා දැම්මා කියන එක. ඒ තරමටම පොරට එක පාරටම මාරම ‘එක්සයිට්’ වීමක් වෙලා තියෙනවා.

කොහොම වුණත් මීට මාස කිහිපයකට කළින්, තායිලන්තයෙන්ම මීටත් වඩා ලොකු ‘නගාටයිටන්’ කියන ආසියානු අලි 9 දෙනෙක්ගේ බර (ටොන් 27ක්) තියෙන ඩයිනසෝරයෙක්ගේ පොසිලත් හමුවුණාලු. හැබැයි මේ අලුත්ම ක්‍රිකට් පිච් එකේ දිග එකාගේ සොයාගැනීම නම් දැන් ලෝක ප්‍රසිද්ධ Nature විද්‍යාත්මක සඟරාවෙත් පළවෙලා ඉවරයි.