July 11, 2026

තමන්ට එරෙහිව මරණ දඬුවම නියම වී ඇති සහ තම පක්ෂය තහනම් කර ඇති පසුබිමක වුවද, ඉන්දියාවේ පිටුවහල්ව සිටින තමන් සහ තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සගයන් එළඹෙන දෙසැම්බර් මාසය අවසන් වන විට නැවත බංග්ලාදේශයට පැමිණ අධිකරණයට භාරවීමට සැලසුම් කර ඇති බව හිටපු අගමැතිනි ෂීක් හසීනා පවසයි.

රොයිටර් පුවත් සේවය සමඟ දුරකථනයෙන් පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව අනාවරණය කර ඇත.

“මා ආපසු පැමිණි පසු ඔවුන් මාව අත්අඩංගුවට ගැනීමට හෝ මරාදැමීමට පවා ඉඩ තිබෙනවා. නමුත් මට යා යුතුමයි. මගේ පක්ෂයේ නායකයන් සහ පාක්ෂිකයන් දැඩි මර්දනයකට ලක්වෙමින් සිටිනවා. මරණය ළඟාවන්නේ නම්, එය මගේ දෙමාපියන් භූමදාන කළ, ඔවුන්ගේ ලේ වැගිරුණු මගේම මව්බිමේදීම සිදුවීමට මම කැමතියි” යැයි 78 හැවිරිදි හසීනා ප්‍රකාශ කරයි.

වසර 20ක් බංග්ලාදේශයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ෂීක් හසීනා, 2024 වසරේදී ඇති වූ දැවැන්ත ශිෂ්‍ය විරෝධතා හමුවේ රටින් පළාගියාය.

ඇයගේ අණ පරිදි සිදුකළ මර්දනයෙන් පුද්ගලයන් 1,400ක් පමණ මියගිය බවට එල්ල වූ චෝදනා මත, බංග්ලාදේශ යුද අපරාධ අධිකරණය විසින් පසුගිය නොවැම්බරයේදී ඇයට නොපැමිණීමේ මරණ දඬුවම නියම කළේය. ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඇයගේ මෙම නැවත පැමිණීමේ තීරණය හේතුවෙන් බංග්ලාදේශය තුළ පවතින දේශපාලන බෙදීම් තවදුරටත් උග්‍ර විය හැකි අතර, ඇයට රැකවරණය දීම හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පළුදු වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි යහපත් වීමට ද ඉඩ තිබේ.

හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් ඇතුළු පිටුවහල්ව සිටින අනෙකුත් අවාමි ලීග් නායකයන් ද තමන් සමඟ පැමිණ එකවරම අධිකරණයට භාරවන බව ඇය සඳහන් කරයි.

බංග්ලාදේශ රජය තමන්ව පිටුවහල් කරන ලෙස ඉන්දියාවෙන් දිගින් දිගටම ඉල්ලා සිටින බැවින්, තමන්ම ස්වේච්ඡාවෙන් යන බව ඇය පැවසුවාය.

“මම යුක්තිය විශ්වාස කරනවා. නඩු කටයුතු ආරම්භ වූ පසු මේ අධිකරණය කෙතරම් ප්‍රහසනයක්ද යන්න ජනතාවට පැහැදිලි වනු ඇතැයි මම විශ්වාස කරනවා. මට එය ඔප්පු කිරීමට අවශ්‍යයි,” යැයි පවසන හසීනා, රජයකින් වැරදි සිදුවිය හැකි වුවත් එහි හොඳ නරක තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ජනතාවට පමණක් බව අවධාරණය කරයි.