July 6, 2026

පාකිස්ථානයේ රජයේ රෝහලක් තුළ අපිරිසිදු සිරින්ජ (කටු) නැවත නැවතත් භාවිත කිරීම හේතුවෙන් කුඩා දරුවන් රැසකට HIV වෛරසය ආසාදනය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට රජය විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පාකිස්ථානයේ ගිනිකොනදිග සින්ද් ප්‍රාන්තයේ පිහිටි ‘කුල්සුම් බායි වාලිකා’ රජයේ රෝහල තුළදී අවම වශයෙන් දරුවන් 78 දෙනෙකුට මෙලෙස HIV ආසාදනය වී ඇති බව සින්ද් ප්‍රාන්ත කම්කරු අමාත්‍ය සයීඩ් ඝානි තහවුරු කළේය.

මෙම සාපරාධී නොසලකා හැරීමට වගකිවයුතු සැමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය:

“පීඩාවට පත් දරුවන්ගේ පවුල් මේ අසීරු අවස්ථාවේදී තනි නොකරන බවට සින්ද් රජය සහතික වෙනවා. ඔවුන්ට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය ප්‍රතිකාර සහ හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට අප කටයුතු කරනවා. මෙතැනදී අනිවාර්යයෙන්ම කාගේ හෝ පාර්ශවයකින් බරපතළ නොසලකා හැරීමක් සිදුව තිබෙනවා.”

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මුලින්ම වාර්තා වූ මෙම වෛරස් ව්‍යාප්තිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පීඩාවට පත් පවුල් මාස ගණනාවක් තිස්සේ ඉල්ලා සිටියහ. රජය මුලින් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අපොහොසත් වීම හේතුවෙන්, යුක්තිය පතා සින්ද් මහාධිකරණය හමුවට යාමට එම පවුල්වලට සිදු විය.

මේ අනුව පසුගිය බ්‍රහස්පතින්දා නඩු විභාගය කැඳවූ සින්ද් මහාධිකරණය, රෝගීන්ට ආරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර සැපයීමට නීත්‍යානුකූලව බැඳී සිටින රෝහලක් තුළ මෙම ව්‍යසනය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයට නියෝග කළේය.

මේ අතර, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසත්, තම දරුවන්ට ජීවිත කාලය පුරාම නොමිලේ ප්‍රතිකාර ලබා දෙන ලෙසත් බල කරමින් පීඩාවට පත් පවුල් රැසක් කරච්චි මාධ්‍ය සමාජය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.