July 9, 2026

සිය රෝගීන් 15 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

ජර්මානු පෞද්ගලිකත්ව රීතිවලට අනුකූලව ‘ජොහැන්නස් එම්.’ (Johannes M.) ලෙස පමණක් නම් කර ඇති මෙම 41 හැවිරිදි පුද්ගලයා, 2021 සැප්තැම්බර් සහ 2024 ජූලි අතර කාලය තුළ කාන්තාවන් 12 දෙනකු සහ පිරිමින් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු බව බර්ලින් අධිකරණයක් විසින් බදාදා තීන්දු කළේය.

බලධාරීන් විශ්වාස කරන්නේ, මෙම ඝාතන මෙතෙක් අනාවරණය වූ සුළු සංඛ්‍යාවක් පමණක් විය හැකි බවයි. පැමිණිලි පාර්ශ්වය මේ වන විට මෙම වෛද්‍යවරයා සම්බන්ධ තවත් සිදුවීම් රැසක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටී.

ඔහුගේ ගොදුරක් බවට පත්වූවන් වයස අවුරුදු 25 ත් 94 ත් අතර පසුවන්නන් විය. ඔවුන් සියල්ලන්ම අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ නමුත්, ඔවුන්ගේ මරණය ආසන්න මොහොතක නොතිබූ බව අධිකරණයේදී අනාවරණය විය.

පැමිණිලි පාර්ශ්ව ප්‍රකාශ කර ඇත්තේ, නිවෙස් වෙත ගොස් ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරයා රෝගීන්ගේ කැමැත්තකින් තොරව විවිධ ඖෂධ වර්ග කිහිපයක මාරාන්තික සංකලනයක් ශරීරගත කර ඇති බවයි. තමන් කළ අපරාධ වසන් කිරීම සඳහා ඔහු අවස්ථා කිහිපයකදීම ගිනි තැබීම් සිදුකර ඇති බවද ඔවුහු පවසා ඇත.

2024 ජූලි මාසයේදී, ඔහු අත්අඩංගුවට ගැනීමට කෙටි කලකට පෙර, වෛද්‍යවරයා එකම දිනයකදී රෝගීන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව පැමිණිලි පාර්ශ්වය සඳහන් කළේය.

ඒ මධ්‍යම බර්ලිනයේ පිහිටි ඔහුගේ නිවසේදී 75 හැවිරිදි පුද්ගලයෙකු සහ ඊට පැය කිහිපයකට පසු අසල දිස්ත්‍රික්කයක පදිංචි 76 හැවිරිදි කාන්තාවකි. එම කාන්තාවගේ නිවසට ගිනිතැබීමට වෛද්‍යවරයා උත්සාහ කර ඇතත් එය ව්‍යර්ථ වී ඇති බව ඔවුහු පැවසූහ.

වසරකට ආසන්න කාලයක් පුරා පැවැති මෙම නඩු විභාගයේ වැඩි කාලයක් වෛද්‍යවරයා කිසිවක් ප්‍රකාශ නොකළ නමුත්, පසුගිය මාසයේදී ඔහු තම අසාධ්‍ය රෝගීන් දොළොස් දෙනෙකු ඇතුළු “මිනිසුන් මැරූ” බවට පාපොච්චාරණය කර ඇත.

ඔහු අධිකරණයට පවසා ඇත්තේ, තමන් කරන්නේ නිවැරදි දේ බවත්, රෝගීන්ව “වේදනාවෙන් සහ බෙලහීනත්වයෙන්” මුදවාගන්නා බවත් තමා විසින්ම විශ්වාස කරගත් බවයි.

“මේ හැම දෙයක්ම අතරතුර, මම හිතුවේ මේක හැමෝටම හොඳම දේ කියලා,” ඔහු පැවසීය. තමන් නිසා සිදු වූ සියලු දුක් වේදනා වෙනුවෙන් තමා සමාව අයදින බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ඔහු තවත් රෝගීන් ඝාතනය කර ඇති බවට බලධාරීන් සැකකරන අතර, පැමිණිලි පාර්ශ්වය මේ වන විට වෙනත් සිදුවීම් 76 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ජර්මානු ජනමාධ්‍ය පවසන්නේ මෙම සෙසු නඩුද ඔප්පු වී ඔහු වැරදිකරු වුවහොත්, එය ජර්මානු ඉතිහාසයේ දරුණුතම අනුක්‍රමික මිනීමැරුම් (serial murder) සිදුවීම්වලින් එකක් වනු ඇති බවයි.