July 9, 2026

ඇන්ටිගුවා සහ බාබියුඩා හි ශාන්ත ජෝර්ජ්, නෝර්ත් සවුන්ඩ් හි පැවැති ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් (02) අහිමි කිරීමේ දඬුවමක් පනවා ඇත.

කාල දීමනාවන් සැලකිල්ලට ගැනීමෙන් පසුව ද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාවට වඩා පන්දුවාර දෙකක් පසුපසින් සිටින බව තීරණය කිරීමෙන් අනතුරුව, අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඩුල්ලේ ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඬුවම නියම කර තිබේ.

ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයි.සී.සී. චර්යාධර්ම පද්ධතියේ 2.22 වගන්තියට අනුව, කණ්ඩායමක් නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සඳහාම ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 5ක දඩයක් පැනවෙන අතර, උපරිම දඩය තරග ගාස්තුවෙන් සියයට 50ක් දක්වා සීමා වේ.

මීට අමතරව, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ක්‍රීඩා කොන්දේසිවල 16.11.2 වගන්තිය ප්‍රකාරව, අඩු වන සෑම පන්දුවාරයක් සඳහාම කණ්ඩායමකට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු 1 බැගින් අහිමි වේ.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිලට හිමි සමස්ත ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 2ක් අඩුකර ඇත.

කොදෙව් කණ්ඩායමේ නායක රොස්ටන් චේස් විසින් මෙම වරද පිළිගෙන යෝජිත දඬුවම පිළිගත් බැවින් මේ සම්බන්ධයෙන් නිල විභාගයක් පැවැත්වීමට අවශ්‍ය නොවීය.

පිටිය මැද විනිසුරුවන් වන පෝල් රයිෆල් සහ අහ්සාන් රාසා, තෙවන විනිසුරු ෂර්ෆුද්දවුලා ඉබ්න ශහීඩ් සහ සිව්වන විනිසුරු ඩේටන් බට්ලර් විසින් මෙම චෝදනාව එල්ල කර තිබිණි.