July 7, 2026

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වූ ශපූර් සද්‍රාන් දරුණු ලේ රෝගයක් (aplastic anemia) සමඟ සටන් කරමින් සිටියදී අද (අඟහරුවාදා) අභාවප්‍රාප්ත වූ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කළේය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 38කි.

මීට මාස කිහිපයකට පෙර සද්‍රාන්මෙම දුර්ලභ රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බව අනාවරණය වූ අතර, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇෆ්ගනිස්තානය අන්තර්ජතික ක්‍රිකට් කරළියට පැමිණි මුල්ම අවධියේදී, එරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැඟීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ වමත් වේගපන්දු යවන්නෙකු ලෙස ශපූර් සද්‍රාන් නොමැකෙන නාමයක් සටහන් කර ඇත.

ශපූර් සද්‍රාන් යනු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ අඩිතාලම දැමූ දැවැන්ත චරිතයක් බව පවසන එරට ක්‍රිකට් මණ්ඩලය, ජාතික කණ්ඩායම වෙනුවෙන් සහ ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් ඔහු දැක්වූ කැපවීම, ආශාව සහ දායකත්වය සදාකාලිකවම ඇෆ්ගන් ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇති බව සිය ශෝක පණිවුඩයෙන් සඳහන් කර සිටියි.