July 4, 2026

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ පුළුල් ජාතික උපායමාර්ගයක කොටසක් ලෙස, තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇත්දැයි මවුපියන්ට පෞද්ගලිකවම පරීක්ෂා කර බැලීම සඳහා ෆාමසි (ඔසුසල්) හරහා විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල (Drug testing kits) හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටියි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ජාතික මෙහෙයුම් සභාවේ රැස්වීමේදී මෙම යෝජනාව සාකච්ඡාවට බඳුන්ව ඇත.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා අදාළ සියලුම ආයතන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේම එක් එක් ආයතනය භාරගෙන ඇති වගකීම් සහ වැඩසටහන්වල ප්‍රගති වාර්තා සභාවේ මීළඟ රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා නියෝග කර ඇත.

පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

ගුරුවරුන් සහ සිසුන් ඉලක්ක කරගනිමින් දැනටමත් දැනුවත් කිරීමේ වැඩසටහන් 225ක් පවත්වා ඇති බවත්, විශ්වවිද්‍යාල තුළ මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රචාරක කටයුතු සඳහා ශිෂ්‍ය කණ්ඩායම් පිහිටුවා ඇති බවත් නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

මීට අමතරව, පාසල් පද්ධතියෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නායකත්වයෙන් යුත් කමිටුවක් පිහිටුවීමටත්, පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳව සමීක්ෂණයක් පවත්වන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම කඩිනම් කිරීම, ස්වයංක්‍රීය පද්ධතියක් මඟින් උසාවි නඩු භාණ්ඩ කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ පරීක්ෂණ ප්‍රමාදයන් අවම කිරීම සඳහා රසායනාගාර පහසුකම් විමධ්‍යගත කිරීමට අදාළ නව නීති සම්පාදනයේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කෙටුම්පත් නීති සම්පාදනය අවසන් කර ඇති අතර එය නුදුරේදීම ගැසට් පත්‍රයේ පළ කරන බව නිලධාරීන් පවසා ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා සමුද්‍රීය මෙහෙයුම් ශක්තිමත් කිරීම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳව ද බලධාරීන් සාකච්ඡා කළහ. තවද, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා භාවිත කරන බහුදින ධීවර යාත්‍රා ඇතුළු වාහන රාජසන්තක කිරීමට පහසු වන පරිදි නීතිමය සංශෝධන හඳුන්වා දීමට ද මෙහිදී තීරණය වී තිබේ.