July 3, 2026

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය අසලදී සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව නිව්යෝර්ක් පොලිසිය ප්‍රකාශ කළේය.

ඔහු චීන පාලනයෙන් ටිබෙටයට නිදහස ඉල්ලා මෙලෙස සිරුරට ගිනි තබාගත් ටිබෙට් ජාතික ක්‍රියාකාරිකයෙකු බව විදේශගත ටිබෙට් වැසියන්ගේ මාධ්‍ය සහ ක්‍රියාකාරීහු පවසති.

නිව්යෝර්ක් පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ බ්‍රහස්පතින්දා පස්වරු 6:30 ට පමණ ලැබුණු හදිසි ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ට, අදාළ ස්ථානයේ සිරුර දැඩි ලෙස පිළිස්සී තිබූ මෙම පුද්ගලයා හමු වූ බවයි.

වහාම ඔහු බෙල්වීව් රෝහල වෙත ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය හෝ මෙයට හේතුව නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශ කර නැත.

කෙසේ වෙතත්, විදේශගත ටිබෙට් වැසියන්ගේ ‘වොයිස් ඔෆ් ටිබෙට්’ (Voice of Tibet) මාධ්‍ය ආයතනය වාර්තා කළේ, ලොබ්ගා රන්ග්සෙන් නැමැති ටිබෙට් ක්‍රියාකාරිකයෙකු ටිබෙටයේ නිදහස සහ එකමුතුකම වෙනුවෙන් සජීවී ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටතදී මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.

ඇමරිකාවේ ‘amNewYork’ පුවත් වෙබ් අඩවියට අනුව, ඔහු කුලී රථ රියදුරෙකු ලෙස සේවය කළ අයෙකු වන අතර, සිරුරට ගිනි තබාගන්නා අවස්ථාවේදී ටිබෙට් ධජයක් ද ඔහු සන්තකයේ තිබී ඇත.

එහිදී ඔහුගේ මිතුරෙකු වන ලොබ්සැන්ග් පැල්ජෝර් නැමැති තවත් කුලීරථ රියදුරෙකු පවසා තිබුණේ, චීන රජය විසින් ටිබෙට් වැසියන් මත පනවා ඇති දැඩි මර්දනය සහ සීමාවන් පිළිබඳව රන්ග්සෙන් දැඩි කෝපයකින් සහ කලකිරීමකින් පසු වූ බවයි.