July 3, 2026

නිෂ්පාදන පිරිවැය සලකා බලා ඉදිරියේදී වී මිල ස්ථාවරව පවත්වාගෙන යාමට සහ පොහොර මිල අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක ‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීමේ කටයුතු ඊයේ (02) ආරම්භ කරමිනි. රුපියල් මිලියන 83.20ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙරට බදු මුදල් මෙන්ම විදේශ ප්‍රේෂණ ද වැඩි වශයෙන්ම වැයකරනු ලබන්නේ කෝටි ගණනින් ප්‍රතිපාදන වෙන් කරමින් ගොවි ජනතාව වෙනුවෙන් බව අවධාරණය කළේය. රටට බත සපයන ගොවියා මෙන්ම කුඩා තේ වතු හිමියන් සහ කුළුබඩු ආනයනකරුවන් ද රටේ ආර්ථිකයට එකසේ වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.

වී මිල උච්චාවචනය වීම වළක්වා ගොවියා සුරැකීමට රජය මැදිහත් වන බව පැවසූ අමාත්‍යවරයා, දේශීය සහල් සඳහා විදේශ වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් නොමැති බැවින්, මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් නිවෙස්වල වී තබා නොගෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කළ වහාම සියලු වී රජයට ලබාදෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

ගෝලීය වශයෙන් යුදමය තත්ත්වයන් පැවතියද මෙරට කෘෂිකර්මාන්තය බිඳ වැටීමට හෝ තෙල් හිඟයක් ඇති වීමට රජය ඉඩ නොතැබූ බවත්, පෞද්ගලික පොහොර සමාගම් සතු වූ පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරීමට රජයට ලබාදෙමින් විශාල සහයෝගයක් දැක්වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. ඉදිරියේදී පොහොර මිල තවදුරටත් අඩුවනු ඇතැයි විශ්වාසය පළ කළ හෙතෙම, ගොවි ජනතාව ද සමස්ත පොදු ජනතාව පිළිබඳ සිතා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පැවසීය.