July 2, 2026

පසුගිය සතියේ කාන්දු වූ හඬපටයකින් හෙළිවූයේ, පාතාල ලෝකය විසින් දේශපාලන අතරමැදියන්ට මුදල් ගෙවන තාක්කල්, රැඳවුම් නියෝග අවලංගු කිරීමට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අධිආරක්ෂිත බන්ධනාගාරයකින් වෙනත් ස්ථානයකට මාරුකිරීමට සහ අවසානයේ චෝදනා සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගැනීමට පවා හැකි වන තරමට මෙම සබඳතාවය දුරදිග ගොස් ඇති බවයි.

මෙය දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට පමණක් නොව, සමස්ත දේශපාලන හා අධිකරණ පද්ධතියටම එල්ල වූ බරපතල අපකීර්තියකි.

මෙම හඬ පටය නිකුත් වීම සනිටුහන් වූයේ, ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සම්බන්ධ ඉහළ පෙළේ අල්ලස් සිද්ධියකට අදාළව විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අරුණ ශ්‍රී චතුරංග, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදීමය.

හඬපටය කාන්දු වූ කාලය දෙස බලන විට, එය මහජන මතයට බලපෑම් කිරීමේ අරමුණින් සිදුකූවක් බව පෙනෙන්නට තිබේ. කෙසේවෙතත්, සෑම සැකකරුවකුම ඉතා ඉක්මනින් දේශපාලන වින්දිතයකු ලෙස ප්‍රතිස්ථාපනය වන දේශපාලන සංස්කෘතියක් තුළ, මෙම හඬපටය මඟින් එම උත්සාහය කළින්ම වළක්වා ඇති බව ස්ථිරවම කිව හැකිය. එසේ වුවද, මෙම හඬපටයේ සඳහන් වන නීති ක්‍රියාත්මක කරන ආයතනවල කිසියම් සම්බන්ධතාවයක් ඇති බව තහවුරු වුවහොත්, එය නීතිමය ක්‍රියාවලියට බලපෑම් කිරීමට ගත් උත්සාහයක් ලෙස සලකා, අධිකරණ ක්‍රියාවලියේදී සැකකරුවන්ට වාසිදායක විය හැකි බවද සඳහන් කළ යුතුය. මධ්‍යස්ථ නිරීක්ෂකයකුට පෙනීයන්නේ, මෙවැනි සුළු තාක්ෂණික කරුණු කෙරෙහි දක්වන අවධානය නිසා බොහෝ අල්ලස් චෝදනා ලැබූ සැකකරුවන් බන්ධනාගාරයෙන් බේරීයාමට නිතරම මඟ පෑදී ඇති බවයි.

අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ සිට සාමාන්‍ය බන්ධනාගාරයකට සැකකරු මාරුකිරීමට සහ රැඳවුම් නියෝග ඉවත් කිරීම සඳහා හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් රුපියල් මිලියන 500ක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව නඩු පවරා ඇත.

විමර්ශනවලට අනුව, 2023 මාර්තු මාසයේදී ඩුබායි බලා ගිය මෙම සැකකරුවන් තිදෙනා, ඩුබායි හි පදිංචි ශ්‍රී ලාංකිකයකු වන නිර්මල බණ්ඩාර නොහොත් ‘හර්බි’ ගේ නිවසේදී මධුවන්ති හමුවී ඇත්තේ දැනට ලංකාවේ රැඳවුම් භාරයේ පසුවන මිඩිගම රුවන් නමැති තවත් ශ්‍රී ලාංකිකයකු ඉදිරිපිටදීය. සාකච්ඡා අතරතුරදී, අල්ලස් මුදල රුපියල් මිලියන 200 දක්වා අඩුකර ඇති අතර, ඉන් මිලියන 100ක් අත්තිකාරම් මුදලක් ලෙස ලබාගෙන ඇත. මෙම මුදල් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ නීතිවිරෝධී ‘උන්ඩියල්’ ක්‍රමය හරහාය. පසුව සැකකරුවන් විසින් රැඳවුම් භාරයේ පසුවන පාතාල මත්ද්‍රව්‍ය නායකයාගේ බිරිඳගෙන් තවත් රුපියල් මිලියන 20ක් ලබාගෙන තිබේ.

මෙම හඬපටය සකස් කර ඇත්තේ රඛිත, චරිත්, හර්බි සහ මධුවන්ති යන සැකකරුවන් දෙදෙනෙකු අතර සිදුවූ දුරකථන සංවාද කිහිපයක් එකට එකතු කිරීමෙනි.

හරක් කටාගේ රැඳවුම් නියෝග ඉවත්කිරීම වෙනුවෙන් උසස් නිලධාරීන්ට ගෙවීම් කිරීම සඳහා දැනටමත් ලබාගෙන ඇති රුපියල් මිලියන 100ක මුදලක් ගැන එහි සඳහන් වේ. සැකකරුවන් විසින් දේශබන්දුට ගෙවූ බව කියන රුපියල් මිලියන 50ක් ගැනද සාකච්ඡා කරන අතර, එහිදී ඔවුන් ‘චරිත්ගේ මිතුරකු වන අයි.ජී.පී දේශබන්දු’ ගැන සඳහන් කරයි.

පෞද්ගලික ඝාතක කල්ලි මෙහෙයවීම ඇතුළු විමර්ශන රැසකට පටලැවී සිටින, මතභේදාත්මක හිටපු පොලිස්පතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් දක්වා නැත.

රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ ජනාධිපති ලේකම්වරයා වූ සමන් ඒකනායක පිළිබඳවද මෙම හඬපටයේ සඳහන් වේ. එම අවධියේදී විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

කෙසේවෙතත්, පසුව මෙම සුහදශීලී සාකච්ඡා තර්ජන දක්වා දික්ගැසෙන්නේ, පොරොන්දු වූ කිසිදු සේවාවක් ඉටු කිරීමට සැකකරුවන් අපොහොසත් වූ බවට මධුවන්ති චෝදනා කිරීමත් සමඟය. ඇය ඔවුන්ට තර්ජනය කරමින් පවසන්නේ, “අපෙන් රුපියල් මිලියන 120ක් වංචා කරපු කිසිම කෙනෙකුට අපි නිදහසේ ඉන්න දෙන්නේ නැහැ” යනුවෙනි. “අපි දැන් අමාරු කාලයක් ගතකළත්, අපේ දවසත් කවදා හරි එනවා” යැයි ඇය අනතුරු අඟවයි.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ සුඛෝපභෝගී නිවාස, බී.එම්.ඩබ්ලිව් සහ රේන්ජ් රෝවර් රථ වැනි ආකාරයෙන් විශාල වශයෙන් අල්ලස් ගෙවීම් සිදුව ඇති බවයි.

දැනට මෙම සැකකරුවන් තිදෙනාම රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ ඇති අඳුරු පැතිකඩ නිරාවරණය වී තිබේ. මෙම මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොවන බව ස්ථිරවම කිව හැකිය. එය කරළියට පැමිණි කලාතුරකින් සිදුවන නිරාවරණය වීමක් පමණි.

මීට පෙර මෙරටට උදර්පනය කිරීමෙන් පසුව, පුදුම සහගත ලෙස ඇප මත මුදාහැරීමෙන් පසු රටින් පළාගිය ප්‍රමුඛ පෙළේ පාතාල සාමාජිකයින් විශාල සංඛ්‍යාව දෙස බලන්න. ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කාංජිපානි ඉම්රාන්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් මිලියන 5ක ඇප මත මුදාහැරීමෙන් කෙටි කලකට පසු රටින් පළාගියේය. ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ද 2024 දී ඇප මත මුදා හැරීමෙන් පසු රටින් පළාගිය අතර පසුව ඉන්දීය බලධාරීන් විසින් මුම්බායි හිදී ඔහුව සොයාගෙන නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී. මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ යන තවත් ප්‍රමුඛ පෙළේ පාතාල ක්‍රියාකාරීන් දෙදෙනකු ද ඒ අයුරින්ම රටින් පළාගිය අතර මෑතකදී ඩුබායි සිට නැවත මෙරටට ගෙන්වා ගන්නා ලදී.

විදේශයන්හි තම කඳවුරු පිහිටුවාගෙන සිටින මෙවැනි දරුණු ගණයේ පාතාල සාමාජිකයන් රටින් පළායාමේ අවදානම, ඇප ලබාදෙන අධිකරණ බලධාරීන් සැලකිල්ලට නොගැනීම සැබවින්ම මවිතයට කරුණකි. ශ්‍රී ලංකාවේ පාතාල සාමාජිකයන් “ඇල්ලීම සහ නිදහස් කිරීමේ” මෙම සංසිද්ධියට හේතු වූ නීති පද්ධතියේ ඇති අඩුපාඩු සහ සිදුවිය හැකි අනුබලදීම් පිළිබඳව රජය විමර්ශනය කළ යුතුය. වත්මන් පරිපාලනය තුළ මේ වන විට පාතාල සාමාජිකයින් 58 දෙනකු මෙරටට ගෙන්වා ගෙන ඇති බව රජය පවසයි. කෙසේවෙතත්, දිගුකාලීන නඩු විභාගයන් පවතින පසුබිමක ඔවුන් මාස තුනකින් හෝ හයකින් නිදහස් කරන්නේ නම්, එවැනි ඕනෑම අර්ථවත් පිටුවහල් කිරීමේ වැඩසටහනක් ඵල රහිත වනු ඇත.

විශේෂ ත්‍රස්ත විරෝධී උසාවි මෙන්, පාතාලයට අදාළ ක්‍රියාකාරකම් විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනම අධිකරණයක් පිහිටුවිය යුතුය. එසේම, පාතාල සාමාජිකයන් සඳහා වන ඇප කොන්දේසි අවලංගු කරන නව පනතක් සකස් කළ යුතුය. එවැනි පනතක් නීතියක් බවට පත්වන තෙක්, වරදකරු කරනු ලබන තෙක් පාතාල සාමාජිකයන් දිගුකාලීනව රඳවා තබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කළ හැකිය. මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කළ ට්‍රම්ප් පරිපාලනය මෙන්, ජනාධිපතිවරයාට ද පාතාල කල්ලි ජාතික ආරක්ෂාවට ඇති ඉහළම තර්ජනයක් ලෙස නම්කළ හැකිය. එවැනි පියවරක් අතිශයෝක්තියක් ලෙස සමහරුන් දැකිය හැකි වුවද, දෙගිඩියාවෙන් පසුවීම සහ අඩක් දුරට ගන්නා පියවරයන්ගෙන් වාසි සැලසෙන්නේ පාතාලයට පමණි. 19 වැනි සියවසේ විසූ පැරණි කොන්සර්වේටිව් සාමිවරයකු පැවසූ පරිදි, “ලිබරල්වාදය පැවතීමට නම්, සාක්කු කපන්නන් හිරේ දැමිය යුතු අතර, ස්ත්‍රී දූෂකයන් සහ මිනීමරුවන් එල්ලා මැරිය යුතුය.”

පද්ධතියේ අඛණ්ඩතාව

මීළඟ කනස්සල්ලට කරුණ නම්, මෙම ක්‍රියාවලියේ විකෘති කිරීමට ඉඩ සලසන සමස්ත දේශපාලන/නීතිමය පද්ධතියේ අඛණ්ඩතාවයි. එලෙසම කනස්සල්ලට කරුණක් වන්නේ, මෑතකාලීන චෝදනා අල්ලස් ලබාගෙන වසර තුනකට පසුව සහ නව ආණ්ඩුව බලයට පත්වී මාස දහඅටකට පමණ පසුව හෙළිදරව් වීමයි. හිටපු පාලන තන්ත්‍රයේ ප්‍රබලයන් සහ රාජපක්ෂ පවුල සම්බන්ධ ඉහළ පෙළේ නඩු කිහිපයක් පිළිබඳව අල්ලස් කොමිසම මෑතකදී දැඩි ලෙස සොයාබලමින් සිටී. එම විමර්ශන බොහෝ කල් ඉකුත් වී තිබූ අතර, පෙර පැවැති ආණ්ඩු විසින් ඒවා පසෙකට දමා තිබිණි. කෙසේවෙතත්, අල්ලස් කොමිසමට ද පක්ෂග්‍රාහී යුක්තියක් ඉටුකරන බවට චෝදනා එල්ල වේ.

තවත් කරුණක් නම්, චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීම ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළ දුරකථන ඇමතුමකින් පසුව සිදුවූවක් බවට සජබ සංවිධායකවරයකු මෑතකදී කළ ප්‍රකාශයයි. ජනතා විමුක්ති පෙරමුණ, විපක්ෂයේ සිටියදී කුමන්ත්‍රණ පදනම් කරගත් මත සහ වක්‍ර චෝදනා ඔස්සේ ඉදිරියට ආ පක්ෂයක් ලෙස, ඒවා දේශපාලනික වශයෙන් කෙතරම් ප්‍රයෝජනවත් වුවද, එමඟින් රට පිරිහීමට ලක්විය හැකි බව හොඳින්ම දන්නවා ඇත. රටක් ක්‍රියාත්මක වීමට නම් සිංගප්පූරුවට අනුකූලව දැඩි අපහාස නීති ද අවශ්‍ය වේ. සමහර විට, ඊට පෙර, අල්ලස් කොමිසම වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද තම අපක්ෂපාතීත්වය ඔප්පු කළ යුතුව ඇත.

(රංග ජයසුරිය Daily Mirror පුවත්පතට සම්පාදනය කළ How far does the political-underworld nexus extend in Sri Lanka? නම් ලිපියේ සිංහල පරිවර්තනය)