July 1, 2026

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය වේදිකාව, ටෙලිනාට්‍යය සහ සිනමාව සිය අනන්‍ය රංගන ප්‍රතිභාවෙන් පෝෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

70 දශකයේ වේදිකා රංගනයෙන් කලාවට පිවිසි ගාමිණී සමරකෝන්, ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉගිළෙති’ නාට්‍යයේ යූ. ආරියවිමල් සමඟ එක්ව “සෝබාව දේ මෙපුර සිරි විසිතුරු” ගීතයට රංගනයෙන් සහ ගායනයෙන් දැක්වූ දායකත්වය අදටත් මෙරට ප්‍රේක්ෂකාගාරයේ මතකයේ නොමැකී පවතින්නකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ (ඔහු සරච්චන්ද්‍රයන් ජීවතුන් අතර සිටියදී බිහිවූ අවසන් මනමේ කුමාරයා ලෙසද රඟපෑවේය), දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑණා’, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ ‘පොකුරු වැස්ස’, ‘මුදු පුත්තු’, ‘අසාත මන්තරේ’ සහ ‘බෙරහඬ’ වැනි අතිශය ජනප්‍රිය ප්‍රාසාංගික වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන ‘වජිරා’ සඳහා දායක වෙමින් ටෙලිනාට්‍ය කලාවේ ආරම්භයටම ශක්තියක් වූ ඔහු, මෑතකදී තිරගත වූ ‘සුදු අප්පච්චි’ වැනි චිත්‍රපට සහ නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තේය.

මෙරට නාට්‍ය කලාවට ඉටුකළ අනුපමේය මෙහෙවර වෙනුවෙන් කලා ලොවේ සම්මානයට මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍රවිය.