July 1, 2026

මුළු ලෝකයම කම්පා කරවන අතිශය ඛේදනීය පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වෙනවා. පාකිස්ථානයේ ලාහෝර් නුවර පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක (ටියුෂන් පන්තියක) වහලක් එකවරම කඩා වැටීමෙන් අහිංසක පාසල් දරුවන් 14 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම දරුණු අනතුරෙන් ගුරුවරියක් ඇතුළු තවත් දරුවන් අට දෙනෙකු බරපතළ තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි එරට නිලධාරීන් පවසන්නේ.

මියගිය දරුවන් වයස අවුරුදු 4ත් 12ත් අතර පසුවන ඉතාමත් කුඩා දරුවන් වීම මේ ඛේදවාචකයේ ඇති සෝචනීයම තත්ත්වයයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ටයිල් ඇල්ලීමේ අලුත්වැඩියා කටයුත්තක් සිදුවෙමින් පවතී තිබෙනවා. අධික බරක් සහිතව සිදුකළ මෙම අක්‍රමවත් ඉදිකිරීම් නිසා පැරණි ගොඩනැගිල්ලේ වහල එකවරම පහළ මාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් මතට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ සහන කණ්ඩායම් එක්ව පස් සහ සුන්බුන් අතර සිරවී සිටි දරුවන් බේරාගැනීමට දැඩි උත්සාහයක නිරතව තිබෙනවා. තවත් දරුවන් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින්නේදැයි සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ සම්බන්ධයෙන් දැඩි සේ කම්පනයට පත් පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් මහතා, මියගිය දරුවන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලැබූවන්ට කඩිනමින් උපරිම වෛද්‍ය පහසුකම් සපයන ලෙස නියෝග කර තිබෙනවා. එමෙන්ම මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන බවද රජය පවසනවා. මේ වන විටත් අදාළ උපකාරක පන්ති මධ්‍යස්ථානයේ අයිතිකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. බාල ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතය සහ ආරක්ෂිත ප්‍රමිතීන් පැහැර හැරීම නිසා පාකිස්ථානයේ මෙවැනි ගොඩනැගිලි කඩා වැටීම් නිතර වාර්තා වන බව විදෙස් අංශ පෙන්වා දෙනවා.