June 30, 2026

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ප්‍රමුඛ පෙළේ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන මොයිසස් හෙන්රික්ස් ඉදිරි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පෘතුගාලය නියෝජනය කිරීමට තීරණය කර ඇති බව ‘කෝඩ් ස්පෝර්ට්ස්’ ආයතනය වාර්තා කරයි. 39 වැනි වියෙහි පසුවන හෙන්රික්ස් තමා උපන් රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් මෙලෙස සිය අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතය නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 44ක් ක්‍රීඩා කර ඇති නමුත්, 2021 වසරෙන් පසුව එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබී නැත. 2028 වසරේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම-සනත්කාරකත්වය දරන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු පියවර ලෙස ලබන අගෝස්තු මාසයේදී ෆින්ලන්තයේ පැවැත්වෙන යුරෝපීය කලාපීය සුදුසුකම් ලැබීමේ තරග සඳහා ඔහු පෘතුගාල කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

පෘතුගාලයේ උපත ලබා බිළිඳු අවදියේදීම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ හෙන්රික්ස්ට, අයි.සී.සී. (ICC) රෙගුලාසිවලට අනුව පූර්ණ සාමාජික රටක සිට ආශ්‍රිත සාමාජික රටක් වෙත මාරුවීමේදී සම්පූර්ණ කළ යුතු වසර තුනක කාලසීමාව මේ වන විට අවසන් වී ඇති බැවින් පෘතුගාලය නියෝජනය කිරීමට නීත්‍යානුකූල සුදුසුකම් ලැබී ඇත. මීට පෙර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් ද සිය පවුලේ උරුමය අනුව ඉතාලි කණ්ඩායමට මෙලෙසම එක්විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් හෙන්රික්ස් ප්‍රකාශ කළේ, ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට සහ නැඟී එන රටවල ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට තමාට අවශ්‍ය බවයි. තවත් රටවල් 10ක් හෝ 20ක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණියහොත් ලෝක කුසලාන තරගාවලියක් මුළු ලෝකයම අවධානය යොමුකරන සැබෑ ගෝලීය තරගාවලියක් වනු ඇති බව ඔහු විශ්වාස කරයි. හෙන්රික්ස්ගේ මෙම තීරණය පිළිබඳව පෘතුගාලයේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඥාතීන්ද දැඩි සතුටකින් සහ ආඩම්බරයකින් පසුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.