June 26, 2026

භාණ්ඩ ආනයනය කරන බව පවසමින් ශ්‍රී ලංකාවෙන් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ මහාපරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු එළඹෙන ජූලි මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ජෙෆ්රි මොහොමඩ් නැමැති මෙම සැකකරුවාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරාගම මහතා හමුවට ඉදිරිපත් කෙරිණි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණයට දන්වා සිටියේ සැකකාර ජෙෆ්රි මොහොමඩ් නැමැත්තා විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන බවට ව්‍යාජ ලෙස පෙන්වමින් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් මෙලෙස විදේශ රටවලට මාරු කර ඇති බවයි.

පැමිණිල්ලට අනුව, කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ‘ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්’ නැමැති සමාගමක් භාවිත කරමින් ටෙලිග්‍රාෆ් පණිවුඩ මඟින් මුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදය ඔස්සේ මෙම මුදල් ඇමෙරිකානු ඩොලර්වලින් විදේශයන් වෙත යවා ඇත.

මෙම මූල්‍ය ගනුදෙනු පහසු කරගැනීම සඳහා සැකකරු සිය පෞද්ගලික නමින් මෙන්ම අදාළ සමාගමේ නමින් ද තෝරාගත් බැංකු කිහිපයක ගිණුම් ගණනාවක් ආරම්භ කර ඇති බව විමර්ශන නිලධාරීන් මෙහිදී අනාවරණය කළේය.

මීට අමතරව, මෙවැනිම ආකාරයේ නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනුවලට සම්බන්ධ තවත් සමාගම් 36ක් පමණ විමර්ශකයන් විසින් දැනටමත් හඳුනාගෙන ඇති බව අධිකරණයට දැනුම්දෙන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.