June 25, 2026

තමිල්නාඩු ප්‍රාන්තයට අයත් රජයේ රෝහල්වල උපත ලබන සෑම බිළිඳකුටම රජය වෙනුවෙන් ග්‍රෑම් එකක රන් මුදුවක් තෑගි කිරීමේ “තායි මාමන් තංග මෝදිරම්” නව සුබසාධන වැඩපිළිවෙළ පසුගිය අඟහරුවාදා ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජේ විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

බලයට පත් TVK පක්ෂය මැතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කරමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සත්කාරය වෙනුවෙන් වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 755.83 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

හිටපු ප්‍රධාන අමාත්‍ය සී. එන්. අන්නාදුරෙයිගේ ජන්ම දින සැමරුම යෙදෙන එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා මෙම වැඩපිළිවෙළ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, වත්මන් ප්‍රධාන අමාත්‍ය විජයි මහතාගේ උපන් දිනය යෙදුණු ජූනි 22 වැනිදා සිට මේ දක්වා රජයේ රෝහල්වල උපත ලැබූ සියලුම බිළිඳුන් ද ආවරණය වන පරිදි පසුගාමී බලපෑමක් සහිතව මෙම තෑග්ග පිරිනමන බව රජයේ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

රාජ්‍ය දත්තවලට අනුව, තමිල්නාඩු ප්‍රාන්තය පුරා පිහිටි රජයේ රෝහල්වල වසරකට බිළිඳුන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් උපත ලබති.