June 24, 2026

ගෝලීය බොරතෙල් මිල දර්ශකයන්හි කැපී පෙනෙන පහත වැටීමක් සනිටුහන් කරමින්, බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 76 සීමාවෙන් පහත වැටී තිබේ. මෙය ඉරාන යුද ගැටුම් ආරම්භ වීමට පෙර පැවැති මිල මට්ටමටත් වඩා පහත වැටීමකි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහන නෞකා ගමනාගමනය නුදුරේදීම යථා තත්ත්වයට පත් වනු ඇතැයි ආයෝජකයින් තුළ ඇති වූ විශ්වාසයත් සමඟ, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල මෙලෙස ඩොලර් 76 සීමාවෙන් පහත වැටුණි.

මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩීසල් මිල ද මාස තුනකට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට ගැලුමකට ඇමෙරිකානු ඩොලර් 5 සීමාවෙන් පහත වැටී ඇත.

ඇමෙරිකානු ජනමාධ්‍ය වාර්තා අනුව ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ශත දෙකකින් පහත වැටී ඩොලර් 4.98 ක් ලෙස සටහන් විය.

ඩීසල් මිල ඩොලර් 5 සීමාවෙන් පහත වැටුණු පළමු අවස්ථාව මෙය වන්නේ පසුගිය මාර්තු 16 වැනිදායින් පසුවය. පසුගිය මැයි 6 වැනිදා ඩීසල් ගැලුමක මිල වසර හතරකින් ඉහළම අගය වන ඩොලර් 5.67 දක්වා ඉහළ ගිය අතර, එතැන් සිට එය ක්‍රමයෙන් පහත වැටෙමින් පවතී.

ඇමෙරිකානුවන් තම පෞද්ගලික මෝටර් රථ සඳහා ඩීසල් භාවිත කරනුයේ සාපේක්ෂව අඩු වශයෙන් වුවද, ඩීසල් මිල ඉහළ යාම සමස්ත භාණ්ඩ මිල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ඊට හේතුව ප්‍රවාහන සේවා සපයන්නන් ඉන්ධන මිලට සාපේක්ෂව තම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම නිසා ඇමෙරිකාවේ සියලුම භාණ්ඩවල මිල ඉහළ යාමට එය සෘජුවම බලපාන බැවිනි.

ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ බලාපොරොත්තු සහ ඊට සමගාමීව හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම හේතුවෙන් පසුගිය මාසය පුරා ඉන්ධන මිල මෙලෙස සෙමින් නමුත් ස්ථාවර ලෙස පහත වැටුණි.

එහෙත්, එළඹෙන ගිම්හාන සෘතුවේ පවතින ගෝලීය ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් තෙල් තොග මෙම සමුද්‍ර සන්ධිය හරහා කෙතරම් ඉක්මනින් ප්‍රවාහනය කරනු ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් අවිනිශ්චිතතාවක් පවතී.