June 24, 2026

දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත්වීමෙන් දියත් කෙරෙන විශේෂ තෙදින දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහන අද (24) සිට ආරම්භ වෙයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු ආසාදිතයන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගල මරණ 28ක් සිදුව තිබේ.

අද සිට ලබන බ්‍රහස්පතින්දා (26) දක්වා ක්‍රියාත්මක වන මෙම විශේෂ වැඩසටහන, පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ග්‍රාම නිලධාරී වසම් 600ක් කේන්ද්‍ර කරගනිමින් දියත්කෙරේ.

රජයේ ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධ කරගනිමින්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාර සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කිරීමට නියමිතය.

මෙම කෙටි කාලීන ඩෙංගු මර්දන පියවරයන් සාර්ථක කරගැනීම සඳහා වන විශේෂ චක්‍රලේඛයක් ද මේ වන විටත් නිකුත් කර ඇත.

ඩෙංගු මර්දන කටයුතු තදින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෙම තීරණය ගනු ලැබුවේ පසුගිය සඳුදා (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු විශේෂ ඉහළ පෙළේ සාකච්ඡාවකදීය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ, තම නිවාස සහ අවට පරිශ්‍රයන් නිතිපතා පරීක්ෂා කර ජලය රැඳෙන ස්ථාන ඉවත් කරන ලෙසයි.

එමෙන්ම පරීක්ෂණ සඳහා පැමිණෙන සෞඛ්‍ය කණ්ඩායම්වලට පූර්ණ සහය ලබාදෙන ලෙසත්, රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මහජනතාවගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය වන බවත් බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.