June 24, 2026

කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා කර, පසුව භෞතචිකිත්සකවරියකගේ මරණයකට සම්බන්ධ ප්‍රධාන සැකකාර පෙම්වතා යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

පසුගිය 17 වැනිදා පස්වරුවේ තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙලෙස මියගොස් තිබුණේ වැලිගම, පලල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි, අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවය කර ඉන් ඉවත්ව සිටි භෞතචිකිත්සකවරියකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන බවයි.

හිසකෙස් නොමැති (තට්ටය සහිත) පුද්ගලයෙකු වන මොහු, බොරු කොණ්ඩයක් (Wig) පැළඳ ඉතා සූක්ෂ්ම ලෙස තරුණියන් සහ කාන්තාවන් රවටා ඇති බව හෙළිව ඇත.

මොහු මෙලෙස කාන්තාවන් ඇසුරු කරමින් ඔවුන්ගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ දිවයිනේ විවිධ පොලිස් ස්ථානවල පැමිණිලි මෙන්ම අධිකරණ රැසක නඩු පවතින පුද්ගලයෙකි.

මියගිය තරුණිය මෙම සැකකරු සමඟ කැනඩාව බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් පසුවී ඇත.

ඒ සඳහා ඇය බැංකුවකින් සහ වෙනත් පුද්ගලයන්ගෙන් පොලියට ලබාගනිමින් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් සැකකරු වෙත ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.

පසුගිය 16 වැනිදා ඔවුන් දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ ඇති අතර, එදින රාත්‍රියේම ඇය මියගොස් ඇති බවට පොලිසිය සැකකරයි.

පසුව සැකකරු විසින් ඇගේ සිරුර මෝටර් රථයක දමාගෙන පසුදා උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන විත් ඇති අතර, අනතුරුව ඔහු විසින්ම තෙල්දෙණිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී මෝටර් රථයේ මළසිරුරක් ඇති බව දන්වා පළාගොස් තිබේ.

තරුණියගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, යාපනයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකිරීමට තෙල්දෙණිය පොලිසිය කටයුතු කරමින් සිටියි.