June 23, 2026

කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාග සඳහා පෙනීසිටින සිසුන් මුදලට සමත් කිරීම සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන්හි විභාග පැවැත්වීමේදී විශ්වවිද්‍යාල බලධාරීන් විසින් විවිධ අක්‍රමිකතා සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් කරන ලද ලිඛිත පැමිණිල්ලක් පිළිබඳව මූලික අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම මෙම පියවර ගෙන ඇත.

සිසුන් විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ දැක්වෙන ප්‍රධාන චෝදනා මෙසේය:

– විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන් තමන්ට හිතවත් සිසුන් පිරිසක් වෙත විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර හෙළිදරව් කර ඇති බව.
– ඇතැම් ආචාර්යවරුන් සිසුන්ගෙන් මුදල් ලබාගෙන විභාග ලකුණු ලබා දී ඇති බව.
– ආචාර්යවරුන්ගේ විවිධ අනිසි අවශ්‍යතාවලට අනුගත නොවන සිසුන් විභාගවලින් අසමත් කර ඔවුන්ගෙන් පළිගැනීමට ක්‍රියාකර ඇති බව.
– විභාග පැවැත්වීම, කණ්ඩායම් ව්‍යාපෘති ඇගයීම, ලකුණු දීමේ සම්මත පටිපාටි සහ විශ්ව විද්‍යාල පාඨමාලා රෙගුලාසි සියල්ල ඇතැම් ආචාර්යවරුන්ගේ අභිමතය පරිදි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බව.
– විභාග අසමත් කළ සිසුන් පිරිසක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔවුන් යළි සමත් කරමින් ව්‍යාජ ලෙස ප්‍රතිඵල ලේඛන නිකුත් කර ඇති බව.

මෙවැනි බරපතළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිසුන් විශ්වවිද්‍යාල බලධාරීන් වෙත පැමිණිලි කර තිබුණද, බලධාරීන් එම පැමිණිලි විභාග කිරීමකින් තොරවම අදාළ සිසුන් වෙත උපාධි ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති බවද අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ ලිපියේ සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.

විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය අල්ලස් පනත යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදවල් බව පෙන්වා දෙන සිසුන්, කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවන්හි ගුණාත්මකභාවය සහ කීර්තිනාමය ආරක්ෂා කර දෙන ලෙසත්, මෙම මහා පරිමාණ විභාග ජාවාරම පිටුපස සිටින පිරිස් වහාම නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නිල ස්ථාවරය විමසීම සඳහා අප එහි උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලකගේ කාර්යාලය ඇමතූ පියවරේදී, එහි සිටි නිලධාරියෙකු ප්‍රකාශ කළේ මේ පිළිබඳව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී සංජීවනී පෙරේරාගෙන් විමසන ලෙසයි.

ඒ අනුව ලේඛකාධිකාරීවරියගේ කාර්යාලය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, එහි සිටි නිලධාරිනියක ප්‍රකාශ කළේ ලේඛකාධිකාරීවරිය එම අවස්ථාවේ විශේෂ සාකච්ඡාවකට සහභාගී වී සිටින බවයි.

මේ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ලබාගැනීමට හැකි වී නැත.

අල්ලස් කොමිසම පවසන්නේ සිද්ධියට අදාළ ලිපි ලේඛන සහ සාක්ෂි කැඳවමින් ඉදිරි විමර්ශන කටයුතු කඩිනමින් සිදුකරන බවයි.