June 23, 2026

මෙම වර්ෂයේ ශ්‍රී පාද අවාරය තුළ සිරිපා කරුණා කිරීමට අපේක්ෂා කරන සංචාරකයන් සහ බැතිමතුන් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ නීතිරීති මාලාවක් සහ සීමාවන් පනවා තිබේ.

එම නිවේදනයට අනුව සිදුකර ඇති වෙනස්කම් සහ නව රෙගුලාසි මෙසේය:

ගමන් කළ හැකි සහ තහනම් මාර්ග

– අවසර ලත් මාර්ග: අවාරයේදී සිරිපා නැඟීම සඳහා විවෘතව පවතින්නේ නල්ලතන්නිය-හැටන් මාර්ගය සහ රත්නපුර-ශ්‍රී පලාබද්දල මාර්ගය පමණි.

– සපුරා තහනම් මාර්ග: කුරුවිට-එරත්න, දෙනෙහකන්ද-මූක්කුවත්ත, දැරණියගල-උඩමාලිබොඩ සහ මරේවත්ත-සඳගලතැන්න යන මාර්ගවලින් අවාරය තුළ ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

ප්‍රවේශ පත්‍ර සහ ගාස්තු අයකිරීම්

අවාරයේදී ශ්‍රී පාදස්ථානය තරණය කිරීමට පෙර නල්ලතන්නිය හෝ පලාබද්දල පිහිටි වනජීවී කාර්යාලවලින් අනිවාර්යයෙන්ම වලංගු ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුය. ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

– දේශීය සංචාරකයින් සඳහා ගාස්තුව: තනි පුද්ගලයෙකු හෝ දස දෙනෙකු දක්වා වන කණ්ඩායමක් වෙනුවෙන් රුපියල් 1,000ක මුදලක් අයකෙරේ.

– කණ්ඩායමේ සාමාජිකයින් 10 ඉක්මවන්නේ නම්: දස දෙනෙකුට වඩා වැඩිවන එක් එක් අතිරේක පුද්ගලයා සඳහා රුපියල් 100 බැගින් අමතර ගාස්තුවක් ගෙවිය යුතුය.

පෞද්ගලික තොරතුරු ලබාදීම

– කණ්ඩායම් වශයෙන් යන්නේ නම්: දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එකට ගමන් කරන්නේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංක ඇතුළත් ලේඛනයක් වනජීවී කාර්යාලය වෙත භාරදිය යුතුය.

– තනිව යන්නේ නම්: තනිව ගමන් කරන අයකු නම් තමන්ගේ පෞද්ගලික තොරතුරු අදාළ කවුන්ටරය වෙත ලබාදීම ප්‍රමාණවත් වේ.