June 23, 2026

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක (මිලියනයක) අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබාගැනීමේ චෝදනාව මත කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකි.

වාර්තා වන අන්දමට, කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් මෙම විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් පවත්වා ඇති අතර, එම විමර්ශනයට අදාළව අධිකරණය හමුවේ අපරාධ නඩු පැවරීමක් සිදුනොකිරීමට හිලව් වශයෙන් මෙම පොලිස් පරීක්ෂකවරයා විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇත.

පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් මූලික වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති සැකකාර පොලිස් නිලධාරියා, ඉතිරි රුපියල් ලක්ෂ 9ක මුදල ලබාගැනීමට කළුතර ප්‍රදේශයේ හෝටලයකට පැමිණි අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙලෙස කොටුකර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.