June 23, 2026

ලබන 2027 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම පළාත් නවයම ආවරණය වන පරිදි පොදු පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කළාය.

‘මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහන’ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ මුල් ළමාවිය අධ්‍යාපනය රටේ සමස්ත අධ්‍යාපන පද්ධතිය සමඟ ඒකාබද්ධ කළ යුතු බවත්, එය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

ශ්‍රී ලංකාවේ වත්මන් පෙරපාසල් අධ්‍යාපනය අවිධිමත් මට්ටමක පවතින බවත්, එය මෙතෙක් විධිමත් රාජ්‍ය සේවාවක් ලෙස පිළිගෙන නොමැති බවත් ඇමැතිනි පෝල්රාජ් මෙහිදී සඳහන් කළාය.

එමෙන්ම පෙරපාසල් ගුරුවරුන් බඳවාගැනීම සඳහා දැනට සම්මත ක්‍රියාපටිපාටියක් නොමැති අතර, මෙම ක්ෂේත්‍රය නිරීක්ෂණය කිරීම සඳහා වගකිවයුතු කැපවූ අමාත්‍යාංශයක් ද නොමැති බව ඇය පෙන්වාදුන්නාය.

යෝජිත නව ප්‍රතිසංස්කරණවල අරමුණ රට පුරා වඩාත් ව්‍යුහාත්මක සහ ස්ථාවර පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.