June 22, 2026

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව අද (22) කොළඹ මහා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල ඉදිරියේ විභාගයට ගැණුනු අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහා අධිකරණ විනිසුරුවරයා, නඩුවේ වැඩිදුර විභාගය ලබන ජූලි මස 30 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

2014 නොවැම්බර් මස 19 වැනිදා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පුවත්පත් 11ක විශේෂ පුවත්පත් අතිරේක පළකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) මුදල් යොදවා ඇති බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මේ හරහා රජයට රුපියල් මිලියන 1.7කට අධික මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවත්, එය දූෂණ විරෝධී පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අල්ලස් කොමිසම මඟින් ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන් වේ.