June 22, 2026

දිඹුලපතන පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තවත් සැකකරුවන් සිව්දෙනකු ලබන ජූලි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් දිස්ත්‍රික් විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් අද (22) නියෝග කළේය.

හැටන්, කොටගල නගරයේ පැවැති විවාහ මංගල උත්සවයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන්ට බාධා කරමින්, කලහකාරී ලෙස හැසිරීම මෙම පිරිසට එරෙහිව ඇති චෝදනාවයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අද (22) දින නීතීඥවරුන් මාර්ගයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වී භාර වූහ.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව එළඹෙන ජූලි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ සිදුවීමෙන් පසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් පොලිස් අත්අඩංගුවට පත්වීම මඟහරිමින් සිට ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධව මීට පෙර දිඹුලපතන පොලිසිය විසින් සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සැකකරුවන් 11 දෙනා අද දින දක්වා රිමාන්ඩ් කර සිටි අතර, පසුව ඔවුන් එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදහැරීමට අධිකරණය පියවර ගත්තේය.

එම පිරිසට අදාළ නඩුවද ජූලි 6 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

නීතිවිරෝධී ජනරාශිය, රජයේ නිලධාරියකුට පහරදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පොදු ස්ථානයක බීමත්ව කලහකාරී ලෙස හැසිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දිඹුල පතන පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.