June 22, 2026

දෛනික ආදායම රුපියල් 100,000 (ලක්ෂය) ඉක්මවන සියලුම සේවා සපයන්නන් සහ ව්‍යාපාරිකයන් එළඹෙන ජූලි මස 1 වැනිදා සිට එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ඊ. ඩී. කරුණාරත්න පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සහ සේවා සපයන්නන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මීට පෙර වසරකට රුපියල් මිලියන 60ක්ව පැවැති බදු අයවිය හැකි පිරිවැටුම් සීමාව, වසරකට රුපියල් මිලියන 36ක් දක්වා අඩුකර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා මෙහිදී පෙන්වාදුන්නේය.

ඒ අනුව සේවා සැපයීම, නිෂ්පාදන ක්ෂේත්‍රය, තොග සහ සිල්ලර වෙළඳාමේ නිරත, වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 36ක් (නැතහොත් දිනකට ආසන්න වශයෙන් රුපියල් 100,000ක්) ඉක්මවන සියලුම ව්‍යාපාර ප්‍රමාදයකින් තොරව මෙම වැට් සහ සමාජ ආරක්ෂණ බදු සඳහා ලියාපදිංචි විය යුතුය.

මෙම ලියාපදිංචි කිරීම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා (Online) හෝ දිවයින පුරා පිහිටි ඕනෑම දේශීය ආදායම් කාර්යාලයකට පැමිණ සිදුකර ගත හැකි බව හෙතෙම පැවසීය.

බදු ගෙවන්නන්ට මේ සඳහා සහාය වීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව ද හෙතෙම කියාසිටියේය.

රටේ ඍජු බදු ආදායම අවම මට්ටමක පැවතීම හේතුවෙන්, රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම අරමුණු කරගෙන මෙම බදු සීමාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගත් බව ඔහු අවධාරණය කළේය.

ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ලබන්නේ මෙම බදු මුදල් පාරිභෝගිකයන්ගෙන් එකතු කර රජයට ලබාදීම පමණක් බැවින්, නිසි පරිදි ලියාපදිංචි වී නීතියට අනුකූලව කටයුතු කිරීම ව්‍යාපාරිකයන් සතු වගකීමක් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ඊ. ඩී. කරුණාරත්න වැඩිදුරටත් මතක්කර දුන්නේය.