June 22, 2026

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

පාලක ලේබර් පක්ෂය තුළින්ම ඔහුට එල්ල වූ දැඩි සහ අඛණ්ඩ දේශපාලන පීඩනය හමුවේ අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

වයඹදිග එංගලන්තයේ පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණයෙන් ස්ටාමර්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිදේහියෙකු වන ඇන්ඩි බර්න්හැම් තීරණාත්මක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ මෙම දැඩි උණුසුම් තත්ත්වය නිර්මාණය විය.

බර්න්හැම්ගේ මෙම ආන්දෝලනාත්මක ජයග්‍රහණයෙන් පසු පක්ෂය තුළ කීර් ස්ටාමර්ගේ නායකත්වය කෙරෙහි තිබූ විශ්වාසය බිඳවැටුණු අතර, අවසානයේ ඔහුට සිය ධුරය අතහැරීමට සිදුව ඇත.

මෙම හදිසි ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න පිළිබඳව ලෝක දේශපාලන කරළිය තුළ මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.