June 22, 2026

කඳාන ප්‍රදේශයේ සිට රාගම දක්වා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පිය-පුතු දෙදෙනකු රාගම, පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ රාගම, පොල්වත්ත පදිංචිව සිටි වැලිසරගේ රොෂාන් කුමාර (48) නමැති පියා සහ වැලිසරගේ ජීවක ප්‍රනාන්දු (20) නමැති පුතු බව පොලිසිය කියයි.

19 වැනිදා හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ මෙම පිය-පුතු ගමන්ගත් යතුරු පැදිය ගැටී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

අනතුරින් යතුරුපැදිය පැදවූ පුතු බරපතළ තුවාල සහිතව එම ස්ථානයේදීම මියගොස් ඇති බවත්, යතුරුපැදියේ පිටුපස ගමන් ගත් පියා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මේ පිළිබඳව රාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.