June 22, 2026

නේවාසිකාගාරයක් තුළ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපාහැරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

මෙසේ නෙරපාහැරීමට ලක්ව ඇත්තේ ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

මෙයට මාස කිහිපයකට පෙර මොහු සිටි නේවාසිකාගාර කාමරය විශ්වවිද්‍යාලීය විනය පාලක අංශය විසින් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී එහි තිබූ ‘අයිස්’, ‘කුෂ්’ සහ ‘හෑෂ්’ යන මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබිණි.

ඊට අමතරව මත්ද්‍රව්‍ය කිරා බැලීමට ගන්නා ඩිජිටල් තරාදියක් සහ රුපියල් 75,000ක මුදලක් ද විනය පාලක අංශය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතරතුර, විශ්වවිද්‍යාල විනය කමිටුව ද මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා ඇත.

එම පරීක්ෂණ වාර්තාවට අනුව, උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ගේ නිර්දේශය මත සිසුවාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට අදාළ ලිපිය මේ වන විට ඔහු වෙත භාර දී ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.